11. 3. 7.
7. ආනන්ද අනාථපිණ්ඩික සූත්‍රය
3795. එසමයෙහි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ ලෙඩ වී, දුකට පත් වී, දැඩි සේ ගිලන් ව සිටියේ ය. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය: “එම්බා පුරුෂය, එව, නුඹ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත යව. ගොස් මාගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පා හිසින් වඳුව -පෙ- අනුකම්පා කොට එහි වඩින සේක්වා” යි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්දව සිටීමෙන් ඉවසූ සේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ උදේ කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන අනාථ පිණ්ඩික ගෘහපතිහුගේ ගෙය යම් තැනෙක්හිද එතැනට පැමිණියහ පැමිණ, පණවන ලද ආසනයෙහි වැඩ උන්හ. වැඩහුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම අනාථපිණ්ඩික ගෘහපතියාට මෙය කීයේය. “ගෘහපතිය, කිම නුඹට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක් වේදනාවෝ සංසිඳෙත්ද? සංසිඳෙන සැටියක් පෙනේද? වැඩිවන සැටියක් නොපෙනේද?” යනුයි. “ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. නො සංසිඳෙත්. වැඩිවීම පෙනේ. අඩුවීම නොපෙනේ.”
“ගෘහපතිය, ධර්ම සතරකින් යුක්තවූ, අශ්‍රැතවත් පෘථග්ජනයාට බය උපදියි. තැතිගැනීම් උපදියි. පරලොව පිළිබඳ මරණ භය උපදියි. කවර සතරකින්ද? ගෘහපතිය, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අප්‍රසාදය තමා කෙරෙහි දක්නාහට බය ඇතිවෙයි. තැතිගැනීම ඇතිවෙයි. පරලොව පිළිබඳ මරණ භය ඇතිවෙයි.
“ගෘහපතිය, නැවතද අශ්‍රැතවත් පෘථග්ජනතෙම ධර්මය කෙරෙහි අප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද ඒ ධර්මය කෙරෙහි වූ අප්‍රසාදය තමා කෙරෙහි දකින්නාහට බය ඇති වෙයි. තැතිගැනීම ඇතිවෙයි. පරලොව පිළිබඳ මරණ භය ඇතිවෙයි.
“ගෘහපතිය, නැවතද අශ්‍රැතවත් පෘථග්ජනතෙම සංඝයා කෙරෙහි අප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, ඒ සංඝරත්නය කෙරෙහිවූ අප්‍රසාදය තමා කෙරෙහි දක්නාහට බය ඇතිවෙයි තැතිගැනීම ඇතිවෙයි. පරලොව පිළිබඳ මරණභය ඇතිවෙයි.
“ගෘහපතිය, නැවතද අශ්‍රැතවත් පෘථග්ජනතෙම දුස්සීල භාවයෙන් යුක්තවූයේවේද ඒ දුස්සීල භාවය තමා කෙරෙහි දක්නාහට බය ඇතිවෙයි තැතිගැනීම ඇති වෙයි. පරලොව පිළිබඳ මරණභය ඇතිවෙයි. ගෘහපතිය, මේ ධර්ම සතරින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනයාට බය හටගනියි. තැතිගැනීම හටගනියි. පරලොව පිළිබඳ මරණභය හටගනියි.
“ගෘහපතිය, ධර්ම සතරකින් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාට භය ඇති නොවෙයි. තැතිගැනීම ඇති නොවෙයි. පරලොව පිළිබඳ භය ඇති නොවෙයි. කවර සතරකින්ද? ගෘහපතිය, ලෝකයෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම බුදු රජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූය. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි. “ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අචලප්‍රසාදය තමා කෙරෙහි දක්නාහට භය ඇතිනොවෙයි. තැතිගැනීම ඇති නොවෙයි. පරලොව ගැන බිය ඇතිනොවෙයි.
ගෘහපතිය, නැවත ද ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි -පෙ- සංඝයා කෙරෙහි -පෙ- නොකැඩුණා වූ -පෙ- සමාධිය පිණිස පවත්නා වූ ආර්යයන් කැමති ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඒ ආර්යයන් කැමති ශීලය තමා කෙරෙහි දකින ඔහුට තැතිගැනීමක් ඇති නොවෙයි, බියෙන් සැලීමක් ඇති නොවෙයි, පරලොව හේතු කොට ගත් මරණ බියක් ඇති නොවෙයි. ගෘහපතිය, මේ ධර්ම සතරින් යුක්ත වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට තැතිගැනීමක් ඇති නොවෙයි, බියෙන් සැලීමක් ඇති නොවෙයි, පරලොව හේතු කොට ගත් මරණ බියක් ඇති නොවෙයි.”
“ආනන්ද ස්ථවිරයන් වහන්ස, මම බිය නොවෙමි. මම කුමකට බිය වන්නෙම් ද? ස්වාමීනි, මම ‘මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ -පෙ- දෙවිමිනිසුන්ගේ ශාස්තෲහ, බුද්ධයහ, භාග්‍යවත්හ’ කියා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙමි. ධර්මය කෙරෙහි -පෙ- සංඝයා කෙරෙහි -පෙ- ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ගිහියන්ට සුදුසු වූ යම් මේ ශික්ෂාපද පනවන ලද්දාහු ද, ඒවායින් කඩ වූ කිසිවක් මා කෙරෙහි නොදකිමි.” “ගෘහපතිය, නුඹට ලාභයකි. ගෘහපතිය, නුඹට මනා ලැබීමකි. ගෘහපතිය, නුඹ විසින් සෝවාන් ඵලය ප්‍රකාශ කරන ලදී.”
11. 3. 8.
8. අනාථ පිණ්ඩික වෙරභය සූත්‍රය
3796. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි අනාථ පිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ අනාථ පිණ්ඩික ගෘහපතියාහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. “ගෘහපතිය, යම්තැනක පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ යම් භය පසක් වෛර පසක් සංසිඳුනාහු වෙත්ද, සිව් වැදෑරුම් ශ්‍රොතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේද, මනාකොට ප්‍රතිවේධ කරන ලද්දේද, හෙතෙම කැමැති වන්නේ තමාම තමහට ‘ක්ෂය කරන ලද නිරය ඇත්තේවෙමි. ක්ෂය කරන ලද, තිරිසන් යොනිය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද නපුරුගති ඇති විසම පතිතවීම් ඇති අපාය ඇත්තේ වෙමි. මම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සොවාන් වෙමැයි’ ප්‍රකාශ කරන්නේය. “කිනම් භය පසක් වෛර පසක් සංසිඳුනාහු වෙත්ද?