11. 3. 5.
දුතිය සරකානි සූත්‍රය
3793. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි සරකානි ශාක්‍යතෙම කාලක්‍රියා කළේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් 'සෝවාන් වූයේ අවිනිපාත ධර්ම ඇත්තේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ නියත වූයේ ය'යි ප්‍රකාශ කරන ලද්දේ වෙයි. එහිදී බොහෝවූ ශාක්‍යයෝ එක්ව, රැස්ව, මෙසේ දොස් කියත්, ගර්හා කරත්. බැණවදිත්: “පින්වතුනි, ආශ්චර්‍ය්‍යයකි. පුදුමයකි. මෙහි දැන් කවරෙක් නම් සෝවාන් නොවන්නේද? යම් හෙයකින් සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම ‘සෝවාන් වූයේ අවිනිපාත ධර්ම ඇත්තේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ නියත වූයේ ය’යි ප්‍රකාශ කරන ලදී. සරකානි ශාක්‍යතෙම ශික්ෂාව සම්පූර්ණ කරන්නෙක් නොවීය” කියායි.
ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මෙහි සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී. ස්වාමීනි, එහි බොහෝ ශාක්‍යයෝ එක්ව රැස්ව මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණවදිත්. කෙසේද? පින්වත්නි, ආශ්චර්‍ය්‍යයකි, පුදුමයකි. මෙහි දැන් කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? යම් හෙයකින් සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම ‘සෝවාන් වූයේ අවිනිපාත ධර්ම ඇත්තේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ නියත වූයේ ය’යි ප්‍රකාශ කරන ලදී. සරකානි ශාක්‍යතෙම ශික්ෂාව සම්පූර්ණ නොකෙළෙක් විය කියායි.”
මහානාමය, යමෙක් දීර්ඝ රාත්‍රියක් මුළුල්ලෙහි උපාසකව බුදුන් සරණ ගියේ වේ ද, ධර්මය සරණ ගියේ වේ ද, සංඝයා සරණ ගියේ වේ ද, හෙතෙම කෙසේ නම් විනිපාතයට යන්නේ ද? මහානාමය, යමකු ගැන මනා කොට කියන්නෙක් ‘දීර්ඝ රාත්‍රියක් මුළුල්ලෙහි උපාසකව බුදුන් සරණ ගියේ ය, ධර්මය සරණ ගියේ ය, සංඝයා සරණ ගියේ ය’යි කියන්නේ නම් සරකානි ශාක්‍යයා ගැන ම කියන්නේ ය. මහානාමය, සරකානි ශාක්‍ය තෙම දීර්ඝ රාත්‍රියක් මුළුල්ලෙහි උපාසකව බුදුන් සරණ ගියේ ය, ධර්මය සරණ ගියේ ය, සංඝයා සරණ ගියේ ය, හෙතෙම කෙසේ නම් විනිපාතයට යන්නේ ද?
මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි ඒකාන්තයට ගියේ වෙයි, අතිශයින් පැහැදුනේ වෙයි: ‘ඉතිපි සො භගවා... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’යි. ධර්මය කෙරෙහි... සංඝයා කෙරෙහි... ‘ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය ය’යි. හාස්‍ය ප්‍රඥාවෙන් ද ජවන ප්‍රඥාවෙන් ද යුක්ත වෙයි. විමුක්තියෙන් ද සමන්නාගත වෙයි. හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද මෙලොව දී ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ වෙසෙයි. මහානාමය, මේ පුද්ගල තෙම ද නිරයෙන් මිදුනේ ය, තිරිසන් යෝනියෙන් මිදුනේ ය, ප්‍රේත විෂයයෙන් මිදුනේ ය, අපාය දුර්ගති විනිපාතයෙන් මිදුනේ ය.
මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි ඒකාන්තයට ගියේ වෙයි, අතිශයින් පැහැදුනේ වෙයි: ‘ඉතිපි සො භගවා... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’යි. ධර්මය කෙරෙහි... සංඝයා කෙරෙහි... ‘ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය ය’යි. හාස්‍ය ප්‍රඥාවෙන් ද ජවන ප්‍රඥාවෙන් ද යුක්ත වෙයි. විමුක්තියෙන් සමන්නාගත නො වෙයි. හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ ක්ෂය වීමෙන් අන්තරා පරිනිර්වායී වෙයි, උපහච්ච පරිනිර්වායී වෙයි, සසංඛාර පරිනිර්වායී වෙයි, අසංඛාර පරිනිර්වායී වෙයි, උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. මහානාමය, මේ පුද්ගල තෙම ද නිරයෙන් මිදුනේ ය, තිරිසන් යෝනියෙන් මිදුනේ ය, ප්‍රේත විෂයයෙන් මිදුනේ ය, අපාය දුර්ගති විනිපාතයෙන් මිදුනේ ය.
මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි ඒකාන්තයට ගියේ වෙයි, අතිශයින් පැහැදුනේ වෙයි: ‘ඉතිපි සො භගවා... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’යි. ධර්මය කෙරෙහි... සංඝයා කෙරෙහි... ‘ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය ය’යි. හාස්‍ය ප්‍රඥාවෙන් යුක්ත නො වෙයි, ජවන ප්‍රඥාවෙන් යුක්ත නො වෙයි, විමුක්තියෙන් ද සමන්නාගත නො වෙයි. හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් රාග ද්වේෂ මෝහයන්ගේ තුනී වීමෙන් සකෘදාගාමී වෙයි, එක් වරක් ම මේ ලොවට අවුත් දුක කෙළවර කරයි. මහානාමය, මේ පුද්ගල තෙම ද නිරයෙන් මිදුනේ ය, තිරිසන් යෝනියෙන් මිදුනේ ය, ප්‍රේත විෂයයෙන් මිදුනේ ය, අපාය දුර්ගති විනිපාතයෙන් මිදුනේ ය.
මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි ඒකාන්තයට ගියේ වෙයි, අතිශයින් පැහැදුනේ වෙයි: ‘ඉතිපි සො භගවා... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’යි. ධර්මය කෙරෙහි... සංඝයා කෙරෙහි... ‘ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය ය’යි. හාස්‍ය ප්‍රඥාවෙන් යුක්ත නො වෙයි, ජවන ප්‍රඥාවෙන් යුක්ත නො වෙයි, විමුක්තියෙන් ද සමන්නාගත නො වෙයි. හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්න වෙයි, අවිනිපාත ධර්ම ඇත්තේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ නියත වූයේ වෙයි. මහානාමය, මේ පුද්ගල තෙම ද නිරයෙන් මිදුනේ ය, තිරිසන් යෝනියෙන් මිදුනේ ය, ප්‍රේත විෂයයෙන් මිදුනේ ය, අපාය දුර්ගති විනිපාතයෙන් මිදුනේ ය.
මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි ඒකාන්තයට ගියේ නො වෙයි, අතිශයින් පැහැදුනේ නො වෙයි. ධර්මය කෙරෙහි... සංඝයා කෙරෙහි... හාස්‍ය ප්‍රඥාවෙන් යුක්ත නො වෙයි, ජවන ප්‍රඥාවෙන් යුක්ත නො වෙයි, විමුක්තියෙන් ද සමන්නාගත නො වෙයි. එහෙත් ඔහුට මේ ධර්මයෝ ඇත්තාහු වෙති: එනම් ශ්‍රද්ධින්ද්‍රිය... ප්‍රඥින්ද්‍රිය යි. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෝ ප්‍රඥාවෙන් ඔහුට මඳ වශයෙන් වැටහෙති. මහානාමය, මේ පුද්ගල තෙම ද නිරයට නො යන්නෙකි, තිරිසන් යෝනියට නො යන්නෙකි, ප්‍රේත විෂයයට නො යන්නෙකි, අපාය දුර්ගති විනිපාතයට නො යන්නෙකි.
මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි ඒකාන්තයට ගියේ නො වෙයි, අතිශයින් පැහැදුනේ නො වෙයි. ධර්මය කෙරෙහි... සංඝයා කෙරෙහි... හාස්‍ය ප්‍රඥාවෙන් යුක්ත නො වෙයි, ජවන ප්‍රඥාවෙන් යුක්ත නො වෙයි, විමුක්තියෙන් ද සමන්නාගත නො වෙයි. එහෙත් ඔහුට මේ ධර්මයෝ ඇත්තාහු වෙති: එනම් ශ්‍රද්ධින්ද්‍රිය... ප්‍රඥින්ද්‍රිය යි. තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුට මාත්‍ර වූ ශ්‍රද්ධාවක් වෙයි, මාත්‍ර වූ ප්‍රේමයක් වෙයි. මහානාමය, මේ පුද්ගල තෙම ද නිරයට නො යන්නෙකි, තිරිසන් යෝනියට නො යන්නෙකි, ප්‍රේත විෂයයට නො යන්නෙකි, අපාය දුර්ගති විනිපාතයට නො යන්නෙකි.