11. 2. 8.
8. පඨම දෙවචාරිකා සූත්‍රය
3786. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත්නුවර අනේපිඬුසිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කෙරෙයි. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවනලද අතක් දිගහරින්නේද, දිගහරිනලද, අතක් හකුළුවන්නේද එමෙන් ජේතවනාරාමයෙන් අතුරුදහන්ව තව්තිසා දෙවියන් අතරෙහි පහළවිය. එකල්හි බොහෝ වූ තව්තිසා දෙවියෝ මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ එක්පසෙක හුන්නාහුය එක්පසෙක හුන්නාවූ, ඒ දෙවියන්ට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම මෙය කීයේය.
ඇවැත්නි, “මෙසේ ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ සේක, භාග්‍යවත්හ” කියා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම හේතුකොටගෙන මෙසේ මෙහි සමහර සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තා වූ ස්වර්ග ලෝකයෙහි උපදිති. ඇවැත්නි, “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. ‘එව, බලව’යි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය” කියා ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි. ඇවැත්නි, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම හේතුකොටගෙන මෙසේ මෙහි සමහර සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තා වූ ස්වර්ග ලෝකයෙහි උපදිති. ඇවැත්නි, “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යෝග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත් ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත් ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්ඵල අදහා දෙන දානය පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලි බැඳ වැඳීමට සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කෙත වූයේය” කියා සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි. ඇවැත්නි, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම හේතුකොටගෙන මෙසේ මෙහි සමහර සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තා වූ ස්වර්ග ලෝකයෙහි උපදිති. ඇවැත්නි, නොකැඩුණා වූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළැල් නොවූ, (තෘෂ්ණාවේ දාසභාවයෙන්) නිදහස් වූ, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දා වූ, (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) පරාමර්ශනය නොකරන ලද්දා වූ, සමාධිය පිණිස පවතින්නා වූ, ආර්යයන් කැමති ශීලයෙන් යුක්ත වීම යහපත් වෙයි. ඇවැත්නි, ආර්යයන් කැමති ශීලයෙන් යුක්ත වීම හේතුකොටගෙන මෙසේ මෙහි සමහර සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තා වූ ස්වර්ග ලෝකයෙහි උපදිති.
“නිදුකාණෙනි මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි -පෙ- උපදිත්. නිදුකාණෙනි මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි -පෙ- උපදිත්. නිදුකාණෙනි මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි -පෙ- උපදිත්. නිදුකාණෙනි මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවීම යහපත් වෙයි -පෙ- උපදිත්.”
11. 2. 9.
9. දුතිය දෙවචාරිකා සූත්‍රය
3787. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත්නුවර අනේපිඬුසිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කෙරෙයි. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම යම්සේ බලවත් පුරුෂයෙක් -පෙ- තව්තිසා දෙවියන් අතරෙහි පහළවිය. එකල්හි බොහෝ වූ තව්තිසා දෙවියෝ -පෙ- ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම මෙය කීයේය: “ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ -පෙ- භාග්‍යවත්හ කියායි. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කය බිඳීමෙන්. මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපන්නාහුය. නිදුකාණනි, ධර්මය කෙරෙහි -පෙ- සංඝයා කෙරෙහි -පෙ- ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කයබිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපන්නාහුය.”
“නිදුකාණෙනි මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි -පෙ- උපන්නාහුය. නිදුකාණෙනි මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය කෙරෙහි -පෙ- සංඝයා කෙරෙහි -පෙ- ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කයබිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපන්නාහුය.”
11. 2. 10.
10. තතිය දෙවචාරිකා සූත්‍රය
3788. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ -පෙ- තව්තිසා දෙව්ලොව පහළවූහ. ඉක්බිති බොහෝවූ, තව්තිසා දෙව්ලොව වැසි දෙවතාවෝ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියාහුය පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ දෙවියන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “ඇවැත්නි, බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි. “මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි. “ඇවැත්නි, බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන වනාහි ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය. “ඇවැත්නි, ධර්මයෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි. “ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය -පෙ- ලෝකයාගේ අති උතුම් පින්කෙත වන්නේය කියායි. “ඇවැත්නි, ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොට ගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය. “ඇවැත්නි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය -පෙ- ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසුවූයේය. ලෝකයාගේ උතුම් පිංකුඹුරය කියායි. “ඇවැත්නි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය. “ඇවැත්නි, නොකැඩුනාවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවතිනනාවූ ආර්‍ය්‍යයන් විසින් කැමැති ශීලයෙන් යුක්තවීම යහපත් වෙයි. ‘ඇවැත්නි, කඩනොවූ අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතු කොටගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.”