2. රාජකාරාම වර්ගය
11. 2. 1.
1. සහස්ස භික්ඛුනී සූත්‍රය
1007. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ රාජකාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති සහස්ස නම් භික්ඛුනී සමූහයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටියාවූ ඒ භික්ඛුනීන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක: “මෙහෙණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වන්නේය. කවර සතරකින්ද? මෙහෙණනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වනසේක. සම්‍යක් සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද, ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව, බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය යම් මේ පුරුස යුග සතරක් වෙත්ද පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූසේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කෙතය මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද, නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදොස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමති සීලයෙන් යුක්තවූයේ වෙයිද, මෙහෙණනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වන්නේයයි” වදාළේය.
11. 2. 2.
2. උදය ගාමිනි සූත්‍රය
1008. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ රාජකාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති සහස්ස නම් භික්ඛුනී සමූහයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටියාවූ ඒ භික්ඛුනීන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක: මහණෙනි, බ්‍රාහ්මණයෝ “උදයගාමිණී” නම් ප්‍රතිපදාවක් පණවත්. ඔවුහු ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. (කෙසේද?) පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. උදෙන්ම නැගිට පෙරදිගට මුහුණලා යව. ඒ නුඹ මඩ වගුරද ප්‍රපාතයද කණුද කටුවලින් ගැවසී තැනද ගවරවලද කුණුවලද අත් නොහරුව. යම් තැනක වැටෙන්නෙහිද, එහිදීම මරණයට පැමිණෙව. පින්වත් පුරුෂය, මෙසේ වනාහි නුඹ කය බිඳීමෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලෝකයෙහි උපදින්නේය’ කියායි. මහණෙනි, මෙය වනාහි ඒ බමුණන්ගේ අඥාන ගමනකි. මෝඩගමනකි. (එය) කලකිරීම පිණිස, විරාගය පිණිස නිරෝධය පිණස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස අවබෝධ කිරීම පිණිස නො පවතියි.
මහණෙනි, මමද ආර්‍ය්‍ය විනයෙහි උදය ගාමිනී ප්‍රතිපදාවක් පනවමි. එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධ කිරීම පිණිස පවතියි. මහණෙනි, එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස අවබෝධ කිරීම පිණිස පවතින්නාවූ උදයගාමිණී පටිපදාව කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක. සම්‍යක් සම්බුද්ධ වනසේක. විද්‍යාචරණසම්පන්න වනසේක. සුගත වනසේක. ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වනසේක, චතුස්සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්ඵල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසුවූයේය. ලෝකයාගේ උතුම් පිංකෙතය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද, නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල්නොවූ නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේ වෙයිද, මහණෙනි, මේ වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස නිරෝධය පිණිස. සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධකිරීම පිණිස, නිවන පිණිස පවතියි.
11. 2. 3.
3. ආනන්ද සොතාපත්තියංග සූත්‍රය
1009. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම සවස් කාලයෙහි විවේකයෙන් නැඟීසිටියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙමේ වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය: “ඇවැත් ආනන්දය, කෙතෙක් ධර්මයන් නැතිකිරීම කෙතෙක් ධර්මයන්ගෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි වැටීමක් නැති රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් බවට පැමිණියායි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, ධර්ම සතරක් නැතිකිරීමත් ධර්ම සතරකින් යුක්තවීමත් හේතුකොටගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි වැටීමක් නැති රහත් බවට නියතවූ මතුමාර්ගත්‍රයට පිහිටවූ සෝවාන් බවට පැමිණියා යයි’ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කවර සතරකින්ද? ඇවැත්නි, බුදුන් කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, බුදුන් කෙරෙහි ඔහුට එවැනි අප්‍රසාදයක් නැත. ඇවැත්නි, බුදුන් කෙරෙහි යම්බඳුවූ අචල ශ්‍රද්ධාවකින් යුත් ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියිද, ඔහුට බුදුන් කෙරෙහි එවැනි නොසෙල්වෙන ප්‍රසාදයක් ඇත්තේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් වනසේක සම්‍යක්සම්බුද්ධ වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරුසදම්මසාරථි වන සේක දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වන සේක චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.
“ඇවැත්නි, ධර්මය කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, ඔහුට ධර්මය කෙරෙහි එබඳු අප්‍රසාදයක් නැත. ඇවැත්නි, ධර්මය කෙරෙහි යම්බඳු අචල ප්‍රසාදයෙන් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින්මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියිද. ඔහුට ධර්මය කෙරෙහි එබඳු අචල ප්‍රසාදය ඇත්තේය. “ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය, කියායි.
“ඇවැත්නි, සංඝයා කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, විසම වැටීම් ඇති, නිරයෙහි උපදියිද, ඔහුට සංඝයා කෙරෙහි එබඳුවූ අප්‍රසාදය නැත්තේය ඇවැත්නි, සංඝයා කෙරෙහි යම්බඳුවූ අචලප්‍රසාදයෙන් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියිද ඔහුට සංඝයා කෙරෙහි එබඳු අචල ප්‍රසාදය ඇත්තේය. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ පින් කෙතය, කියායි. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද,