11. 2. 6.
6. පඨම මිත්තා’මච්ච සූත්රය
1012. “මහණෙනි, යමෙකුන්ට අනුකම්පා කරන්නහු නම් ඇසිය යුත්තන් වශයෙන් යම් මිත්රයෝ හෝ, විශ්වාසයෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ හඟින්නාහුද, මහණෙනි ඔවුහු තොප විසින් සොතාපත්ති අංග සතරෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය. කවර සතරෙක්හිද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්රසාදයෙන් යුක්ත වීමෙහි සමාදන් කරවිය යුත්තේය: “ඒ භාග්යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක, සම්යක් සම්බුද්ධ වනසේක -පෙ- සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා”ති. ධර්මය කෙරෙහි අවෙච්චප්පසාදයෙහි සමාදන් කරවිය යුත්තේය -පෙ-
“ධර්මයතෙම භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය -පෙ- පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී”ති. සංඝයා කෙරෙහි අවෙච්චප්පසාදයෙහි සමාදන් කරවිය යුත්තේය -පෙ- සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා”ති. ආර්ය්යකාන්ත ශීලයන්හි සමාදන් කරවිය යුත්තේය -පෙ- අඛණ්ඩේසු -පෙ- සමාධිසංවත්තනිකේසු. “මහණෙනි, යමෙකුන්ට අනුකම්පා කරන්නහු නම් ඇසිය යුත්තන් වශයෙන් යම් මිත්රයෝ හෝ, විශ්වාසයෝ හො නෑයෝ හෝ, සහලේ නෑයෝ හෝ හඟින්නාහුද, මහණෙනි, ඔවුහු තොප විසින් මේ සොතාපත්ති අංග සතරෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය.”
11. 2. 7.
7. දුතිය මිත්තා‘මච්ච සූත්රය
1013. “මහණෙනි, යමෙකුන්ට අනුකම්පා කරන්නහු නම් ඇසිය යුත්තන් වශයෙන් යම් මිත්රයෝ හෝ, විශ්වාසයෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ හඟින්නාහුද, මහණෙනි ඔවුහු තොප විසින් සොතාපත්ති අංග සතරෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය. කවර සතරෙක්හිද? “බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය. (කෙසේද?) භාග්යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක. සම්යක් සම්බුද්ධ වනසේක. විද්යාචරණසම්පන්න වන සේක සුගත වන සේක. ලොකවිදූ වන සේක. අනුත්තර පුරිස දම්ම සාරථි වන සේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වන සේක. චතුස්සත්යය අවබෝධ කළ සේක. භාග්යවත් සේකැයි කියායි. “මහණෙනි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන සතර මහා භූතයින් හෝ (තදදෙය මොළොක් වීම යනාදි) වෙනස්වීම ඇත්තේය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්රසාදයෙන් යුක්තවූ ආර්ය්යශ්රාවකයාගේ වෙනස්වීමක් නැත්තේය. එහි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූ ඒ ආර්ය්යශ්රාවක තෙම නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ, ප්රේතවිෂයෙහි හෝ උපදින්නේය යන මේ කරුණ විද්යමාන නොවේ. “ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය. (කෙසේද?) භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි කියායි. “මහණෙනි, පඨවිධාතු, ආපෝධාතු, තේජොධාතු, වායොධාතු යන සතර මහාභූතයින් හෝ (තදදෙය මොළොක් වීම යනාදී) වෙනස්වීම ඇත්තේය. ධර්මය කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූ ආර්ය්ය ශ්රාවකයාගේ වෙනස්වීමක් නැත්තේය. එහි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූ ඒ ආර්ය්යශ්රාවකතෙම නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ, ප්රේතවිෂයෙහි හෝ උපදින්නේය යන මේ කරුණ විද්යමාන නොවේ. “සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය. (කෙසේද?) භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝතෙම ශාසනප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටුපඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්රත්යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලිකර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කෙතය කියායි. “මහණෙනි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායොධාතු යන සතර මහා භූතයින් හෝ (තදදෙය මොළොක් වීම යනාදි) වෙනස්වීම ඇත්තේය. සංඝයා කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූ ආර්ය්යශ්රාවකයාගේ වෙනස්වීමක් නැත්තේය. එහි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූ ඒ ආර්ය්යශ්රාවකතෙම නිරයෙහි හෝ ප්රේතවිෂයෙහි හෝ උපදින්නේය යන මේ කරුණ විද්යමාන නොවේ. ‘නොකැඩුනාවූ සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදොස්වූ නුවණ ඇත්තන් විසින් ප්රසංසා කරන ලද්දාවූ, (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්ය්යයන් කැමතිවෙනු ලබන්නාවූ ශීලයෙහි සමාදන් කරවිය යුත්තාහුය වාසය කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහුය.” ‘මහණෙනි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන සතර මහාභූතයින් හෝ (තදදෙය මොළොක් වීම යනාදි) වෙනස්වීම ඇත්තේය. ආර්ය්යයන් කැමති වන්නාවූ ශීලයෙන් යුක්තවූ ආර්ය්ය ශ්රාවකයාගේ වෙනස්වීමක් නැත්තේය. එහි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූ ඒ ආර්ය්යශ්රාවකතෙම නිරයෙහි හෝ තිරිසන් යොනියෙහි හෝ ප්රේතවිෂයෙහි හෝ උපදින්නේය යන මේ කරුණ විද්යමාන නොවේ. “මහණෙනි, යමෙකුන්ට අනුකම්පා කරන්නහු නම් ඇසිය යුත්තන් වශයෙන් යම් මිත්රයෝ හෝ, විශ්වාසයෝ හො නෑයෝ හෝ, සහලේ නෑයෝ හෝ හඟින්නාහුද, මහණෙනි, ඔවුහු තොප විසින් මේ සොතාපත්ති අංග සතරෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය.”