11. 2. 10.
10. තතිය දෙවචාරිකා සූත්‍රය
3788. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ -පෙ- තව්තිසා දෙව්ලොව පහළවූහ. ඉක්බිති බොහෝවූ, තව්තිසා දෙව්ලොව වැසි දෙවතාවෝ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියාහුය පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ දෙවියන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “ඇවැත්නි, බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි. “මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි. “ඇවැත්නි, බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන වනාහි ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය. “ඇවැත්නි, ධර්මයෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි. “ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය -පෙ- ලෝකයාගේ අති උතුම් පින්කෙත වන්නේය කියායි. “ඇවැත්නි, ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොට ගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය. “ඇවැත්නි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය -පෙ- ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසුවූයේය. ලෝකයාගේ උතුම් පිංකුඹුරය කියායි. “ඇවැත්නි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය. “ඇවැත්නි, නොකැඩුනාවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවතිනනාවූ ආර්‍ය්‍යයන් විසින් කැමැති ශීලයෙන් යුක්තවීම යහපත් වෙයි. ‘ඇවැත්නි, කඩනොවූ අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතු කොටගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.”
නිදුකාණනි, “මෙසේ ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ -පෙ- දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ සේක, භාග්‍යවත්හ” කියා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි. නිදුකාණනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම හේතුකොටගෙන මෙසේ මේ සත්ව සමූහයා අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති, (නිවනට) නියත වූ, සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වූවෝ වෙති. නිදුකාණනි, ධර්මය කෙරෙහි -පෙ- සංඝයා කෙරෙහි -පෙ- නොකැඩුණා වූ -පෙ- සමාධිය පිණිස පවතින්නා වූ, ආර්යයන් කැමති ශීලයෙන් යුක්ත වීම යහපත් වෙයි. නිදුකාණනි, ආර්යයන් කැමති ශීලයෙන් යුක්ත වීම හේතුකොටගෙන මෙසේ මේ සත්ව සමූහයා අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති, (නිවනට) නියත වූ, සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වූවෝ වෙති.
දෙවැනි රාජකාරාම වර්ගය නිමි.
එහි උද්දානය:
සහස්ස, බ්‍රාහ්මණ, ආනන්ද, දුග්ගති, විනිපාත, මිත්තාමච්ච සූත්‍ර දෙකක් හා දේවචාරික සූත්‍ර තුනක් ද වේ.