11. 1. 4.
සාරිපුත්තානන්ද සූත්‍රය
3772. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙමේද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැඟීසිටියේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ හා සමග සතුටුවූයේය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට අවසාන කර එක්පසෙක හුන්නේය. එක්පසක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්ස, කවර ධර්මයන්ගෙන් යුක්තවීම හේතු කොට ගෙන, මෙසේ මේ ප්‍රජාව අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ රහත් බව පිහිට කොට ඇත්තාවූ සෝවාන් වූවෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුද?”
“ඇවැත්නි, ධර්ම සතරකින් යුක්තවීමේ හේතුවෙන් මෙසේ මේ ප්‍රජාව අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බව නියතවූ රහත්බව පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූවෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ. “කවර සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වෙන සේක... ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, “ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්... ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙම... ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, “නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද, “ඇවැත්නි, මේ ධර්ම සතරින් යුක්තවීම හේතුකොට ගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ රහත්බවට පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූවෝයයි’ භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණලදහ.
11. 1. 5.
සොතාපත්තියංග සූත්‍රය
3773. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “සාරිපුත්තය, සොතාපත්ති අංගය, සොතාපත්ති අංගයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතාපත්ති අංගය වනාහි කවරක්ද?” “ස්වාමීනි, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්මශ්‍රවණය සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකියි’ “සාධු! සාධු!! සාරිපුත්තය, සාරිපුත්තය, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්ම ශ්‍රවණය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි.
“සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද”? “ස්වාමීනි, මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි. “සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි. “සාරිපුත්තය, සෝතාපන්නය, සෝතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සෝතාපන්න තෙම කවරේද?” “ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.” “සාධූ! සාධූ! සාරීපුත්තය, සාරිපුත්තය යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේයයි’ වදාළේය.
11. 1. 6.
ඉසිදත්ත පුරාණ සූත්‍රය
3774. මා විසින් මෙසේ අසනලදී. එසමයෙහි වනාහි බොහෝ භික්ෂූහු මසා කටයුතු නිමකරන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ මාස තුනකින් පසු චාරිකාවෙහි වඩින්නේයයි භාග්‍යවතුන්වහන්සේගේ සිවුරෙහි වැඩ කෙරෙත්. එසමයෙහි වනාහි ඉසිදත්ත සහ පුරාණ යන ගෘහපති දෙදෙන කිසියම් කරුණක් නිසා සාධුකයෙහි වෙසෙත්. ඉසිදත්ත සහ පුරාණ යන ගෘහපති දෙදෙන වනාහි නිමකරන සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ මාස තුනකින් පසු චාරිකාවෙහි වඩින්නේයයි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ සිවුරෙහි වැඩ කෙරෙත්’ (යන මේ කථාව) ඇසුවාය.