11. 1. 10.
තතිය ගිඤ්ජකාවසථ සූත්‍රය
එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ: “ස්වාමීනි, ඤාතිකයෙහි කකුධ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහිවූ කාලිංග නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? “ස්වාමීනි, ඤාතිකයෙහි තික්ඛ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි කටිස්සහ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි තුට්ඨ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි සන්තුට්ඨ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි භද්ද නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහිවූ සුභද්ද නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද පරලොව කුමක්ද?”
“ආනන්දය, කළුරිය කළාවූ කකුධ උපාසකතෙම තෙම ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ කාලිංග උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ නික්ඛ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ කටිස්සහ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. ‘ආනන්දය, කළුරිය කළාවූ තුට්ඨ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නො එන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ සන්තුට්ඨ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ භද්ද උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ සුභද්ද උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නැවත නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ ඥාතිකයෙහිවූ පනසකට අධික උපාසකයෝ තුමූ ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඒ බඹ ලෝකයෙන් මේ කාම ලෝකයට නැවත නො එන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ ඥාතිකයෙහිවූ අනූවකට අධික උපාසකයෝ තුමූ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂයකිරීමෙන් රාග-ද්වේෂ-මෝහයන් තුනී කළ සකෘදාගාමිව වරක් පමණක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කෙරෙත්. “ආනන්දය, කළුරිය කළාවූ පන්සිය සයදෙනෙකුට අධික වූ ඤාතිකයෙහි වූ උපාසකයෝ තුමූ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ, නිවන නියතවූ, මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෝ වූහයි” වදාළේය.
“ආනන්දය, මිනිසෙකු මැරෙන්නේය යන මෙය පුදුමයක් නොවේ. ඉදින් ඒ ඒ මිනිසුන් මළ කල්හි මා කරා පැමිණ, මේ කරුණ අසන්නහුනම්, ආනන්දය, මේ ඇසීම තථාගතයන් වහන්සේට වෙහෙසක්ම වන්නේය. ආනන්දය, ඒ නිසා ධර්මාදාස (දහම් කැටපත) නම් ධර්ම ක්‍රමයක් දේශනා කරන්නෙමි. එයින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකතෙම කැමතිවන්නේ නම් ‘මම ක්ෂය කරනලද නිරය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද තිරිසන් යෝනි ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද විෂම වැටීම් ඇති දුර්ගති නම්වූ අපාය ඇත්තේ වෙමි. අපායෙහි වැටෙන ස්වභාවය නැත්තාවූ නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙමැයි’ තෙමේම තමහට කියන්නේය.
“ආනන්දය, යම් ධර්මයකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි කැමැතිවන්නේ ‘මම ක්ෂය කරන ලද නිරය ඇත්තේවෙමි... සෝවාන් පුද්ගලයෙක් වෙමියි තෙමේම තමහට ප්‍රකාශ කරන්නේද ඒ ධම්මාදාස නම්වූ ධර්මක්‍රමය කවරේද? “ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත්වනසේක... භාග්‍යවත්සේකැයි බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි. ‘භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය... නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය... ලෝකයාගේ උතුම් පිං කුඹුරය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. “නොකැඩුනාවූ, සිදුරු නොවූ... සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේවෙයි. “ආනන්දය, යම් ධර්ම ක්‍රමයකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම කැමැතිවන්නේ ‘මම ක්ෂය කරන ලද නිරය ඇත්තේ වෙමි... සෝවාන් පුද්ගලයෙක් වෙමියි’ තෙමේම තමහට ප්‍රකාශ කරන්නේද, ආනන්දය මේ ධර්මාදාස නම්වූ ඒ ධර්මක්‍රමය වෙයි.”
වෙළුද්වාරවග්ගො පඨමො.
එහි උද්දානය:
රාජා, ඔගධ, දීඝාවු, සාරිපුත්ත, පරෙ දුවෙ (අන් දෙදෙනා), ථපති, වෙළුද්වාරෙය්‍ය සහ ගිඤ්ජකාවසථ සූත්‍ර තුනයි.