1. 4. 7.
බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
37. “මහණෙනි, තොපට ශ්‍රේෂ්ඨභාවයද ශ්‍රේෂ්ඨභාවයාගේ ඵලයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ශ්‍රේෂ්ඨභාවය නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ශ්‍රේෂ්ඨභාවයයි කියනු ලැබේ. “මහණෙනි, ශ්‍රේෂ්ඨභාවයාගේ ඵලය නම් කවරේද? සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය යන මොහුයි. මහණෙනි, මොව්හු ශ්‍රේෂ්ඨභාවයාගේ ඵලයයි කියනු ලැබේයයි’ වදාළසේක.
1. 4. 8.
දෙවන බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
38. “මහණෙනි, තොපට ශ්‍රේෂ්ඨ බවද ශ්‍රේෂ්ඨභාවයාගේ අර්ථයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ශ්‍රේෂ්ඨ බව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ කෙසේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ශ්‍රේෂ්ඨ බවයයි කියනු ලැබේ. “මහණෙනි, ශ්‍රේෂ්ඨභාවයාගේ අර්ථය නම් කුමක්ද? මහණෙනි, රාගය නැතිකිරීමට නිමිත්තවූ ද්වේෂය නැති කිරීමට නිමිත්තවූ මෝහය නැතිකිරීමට නිමිත්තවූ යම් නිර්වාණයක් වේද? එය ශ්‍රේෂ්ඨ භාවයාගේ අර්ථයයි කියනු ලැබේයයි” වදාළසේක.
1. 4. 9.
බ්‍රහ්මචරිය සූත්‍රය
39. “මහණෙනි, තොපට මම බ්‍රහ්මචරියාව දේශනා කරන්නෙමි. බ්‍රහ්මචරියාවේ ඵලයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. “මහණෙනි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි. මහණෙනි, මෙය බ්‍රහ්ම චරියාවයයි කියනු ලැබේ. “මහණෙනි, බ්‍රහ්මචරියාවේ ඵලයෝ නම් කවරහුද? සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය යන මොහුයි. මහණෙනි, මොව්හු බ්‍රහ්මචරියාවේ ඵලයෝ යයි කියනු ලැබෙතියි” වදාළසේක.
1. 4. 10.
දෙවන බ්‍රහ්මචරිය සූත්‍රය
40. “මහණෙනි, තොපට මම බ්‍රහ්මචරියාවද බ්‍රහ්ම චරියාවේ අර්ථයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි. මහණෙනි, මෙය බ්‍රහ්ම චරියාවයයි කියනු ලැබේ. “මහණෙනි, බ්‍රහ්මචරියාවේ අර්ථය නම් කවරේද? මහණෙනි, රාගය ක්ෂය කිරීමට නිමිත්තවූ ද්වේෂය ක්ෂය කිරීමට නිමිත්තවූ මෝහය ක්ෂය කිරීමට නිමිත්තවූ යම් නිර්වාණයක් වේද මෙය බ්‍රහ්මචරියාවේ අර්ථයයි කියනු ලැබේයයි” වදාළසේක.
(සියල්ල සැවැත්නුවර නිදාන වේ.)
පටිපත්තිවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
පටිපත්ති, පටිපන්න, විරද්ධ, පාරඞ්ගම, සාමඤ්ඤ සූත්‍ර දෙකක් ද, බ්‍රහ්මඤ්ඤ සූත්‍ර දෙකක් ද, බ්‍රහ්මචරිය සූත්‍ර දෙකක් දැයි මේ වර්ගය කියනු ලැබේ.