4. පටිපත්ති වර්ගය
1. 4. 1.
පටිපත්ති සූත්රය
31. සැවැත්නුවරදීය:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූහු ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, තොපට මිථ්යා ප්රතිපත්තියද සම්යක් ප්රතිපත්තියද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, මිථ්යා ප්රතිපත්තිය නම් කවරීද? ඒ මෙසේයි. මිථ්යා දෘෂ්ටිය, මිථ්යා සංකල්පය, මිථ්යා වචනය, මිථ්යා කර්මාන්තය, මිථ්යා ආජීවය, මිථ්යා ව්යායාමය, මිථ්යා සතිය සහ මිථ්යා සමාධියයි. “මහණෙනි, මේ මිථ්යා ප්රතිපත්තියයි කියනු ලැබේ. මහණෙනි, සම්යක් ප්රතිපත්තිය නම් කුමක්ද? ඒ මෙසේයි. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යන මෙයයි. “මහණෙනි, මේ සම්යක් ප්රතිපත්තියයි කියනු ලැබේ.
1. 4. 2.
පටිපන්න සූත්රය
32. (මෙතැන් සිට මේ වර්ගයේ සියලුම සූත්රවල 1 ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ මෙනි.)
“මහණෙනි, තොපට වරදවා පිළිපදින්නාද නිවැරදිව පිළිපදින්නාද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, වරදවා පිළිපදින්නා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් මිථ්යා දෘෂ්ටි ඇත්තේ වෙයිද, මිථ්යා සංකල්පය ඇත්තේවේද, මිථ්යා වචනය ඇත්තේවේද, මිථ්යා කර්මාන්තය ඇත්තේවේද, මිථ්යා ආජීවය ඇත්තේවේද, මිථ්යා ව්යායාමය ඇත්තේවේද, මිථ්යා සතිය ඇත්තේවේද, මිථ්යා සමාධිය ඇත්තේවේද, මහණෙනි, මේතෙම වරදවා පිළිපදින්නාහුයයි කියනු ලැබේ. “මහණෙනි, නිවැරැදිව පිළිපදින්නා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සම්යක් දෘෂ්ටිය ඇත්තේවේද, සම්යක් සංකල්පය ඇත්තේවේද, සම්යක් වචනය ඇත්තේවේද, සම්යක් කර්මාන්තය ඇත්තේවේද, සම්යක් ආජීවය ඇත්තේවේද, සම්යක් ව්යායාමය ඇත්තේවේද, සම්යක් සතිය ඇත්තේවේද, සම්යක් සමාධිය ඇත්තේවේද, මහණෙනි, මේතෙම නිවැරැදිව පිළිපදින්නාහුයයි කියනු ලැබේයයි” වදාළසේක.
1. 4. 3.
විරද්ධ සූත්රය
33.
“මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන් නොගන්නාලද්දේද? ඔහු විසින් මනාකොට දුක් කෙළවර කරන මාර්ගය පටන්නොගන්නා ලද්දේවේ. මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නා ලද්දේද? ඔහු විසින් මනාකොට දුක් කෙළවර කරන මාර්ගය පටන්ගන්නා ලද්දේවේ. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය සහ සම්යක් සමාධියයි. “මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්නොගන්නා ලද්දේද? ඔවුන් විසින් මනාකොට දුක් කෙළවර කරන මාර්ගය පටන් නොගන්නා ලද්දේ වේ. මහණෙනි, යම් කිසිකෙනෙකුන් විසින් මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නා ලද්දේද? ඔවුන් විසින් මනාකොට දුක් කෙළවර කරන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නාලද්දේ වේයයි වදාළසේක.
1. 4. 4.
පාරංගම සූත්රය
34.
“මහණෙනි, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්මයෝ අටදෙනෙක් සසරින් එතෙරට යාම පිණිස පවතිත්. කවරනම් ධර්ම අටක්ද? “ඒ මෙසේයි. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යනුයි. මහණෙනි, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්ම අට සසරින් එතරට පැමිණීම පිණිස පවතිත්යයි භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා අනතුරුව සුගතයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක.
“මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් එතෙරට පැමිණෙන්නාහුද ඔව්හු ස්වල්ප දෙනෙකි. එයින් අන්ය වූ ප්රජාව සසරම ඇවිදින්නීය.”
“යම් කෙනෙක් මනාකොට වදාළ ධර්මයෙහි ඒ ධර්මයට අනුව පවතින්නාහුද ඔව්හු එතෙරවීමට දුෂ්කර වූ මරුවාට අයත්වූ මේ ලෝකයෙන් එතරට පැමිණෙන්නාහුය.”
“නුවණැති පුරුෂතෙමේ සසරින් එතෙරව නිවන් පැමිණෙනු පිණිස අකුශල ධර්ම දුරුකොට කුශල ධර්ම වඩන්නේය. කැමතිවීමට දුෂ්කර වූ නිවනෙහි කැමැත්ත උපදවන්නේය. පණ්ඩිතතෙමේ කාමයන් දුරුකොට පලිබොධ රහිතවූයේ තමන්ගේ සිත නීවරණයන්ගෙන් පිරිසිදු කරන්නේය.”
“යමෙකුගේ සිත ධර්මයන් විෂයෙහි මනාකොට වඩන ලද්දේද සතර උපාදානයන්ගෙන් අල්වා නොගෙන උපාදානයන් දුරුකළාවූ නිවනෙහි ඇලුනේද එබඳු අනුභාව ඇති ආශ්රව රහිත උත්තමයෝ පිරිනිවියාහු වෙත්” යයි වදාළේය.
1. 4. 5.
සාමඤ්ඤ සූත්රය
35. “මහණෙනි, තොපට ශ්රමණ භාවයද, ශ්රමණ භාවයේ ඵලයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ශ්රමණභාවය නම් කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි. ඒ මෙසේයි. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය සහ සම්යක් සමාධියයි. මහණෙනි, මෙය ශ්රමණ භාවයයි කියනු ලැබේ. මහණෙනි, ශ්රමණ භාවයේ ඵලයෝ නම් කවරහුද? සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය යන මොහුයි. මහණෙනි, මොව්හු ශ්රමණභාවයේ ඵලයෝයයි කියනු ලැබෙත් යයි” වදාලසේක.
1. 4. 6.
දෙවන සාමඤ්ඤ සූත්රය
36. “මහණෙනි, තොපට ශ්රමණභාවයද ශ්රමණ භාවයාගේ අර්ථයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ශ්රමණභාවය නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ශ්රමණ භාවයයි කියනු ලැබේ. “මහණෙනි, ශ්රමණභාවයාගේ අර්ථය නම් කුමක්ද? මහණෙනි, යම් රාගය නැතිකිරීමක්වේද, ද්වේෂය නැති කිරීමක් වේද, මෝහය නැතිකිරීමක් වේද, මහණෙනි, මෙය ශ්රමණභාවයාගේ අර්ථයයි කියනු ලැබේ”යයි වදාළසේක.
1. 4. 7.
බ්රහ්මඤ්ඤ සූත්රය
37. “මහණෙනි, තොපට ශ්රේෂ්ඨභාවයද ශ්රේෂ්ඨභාවයාගේ ඵලයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ශ්රේෂ්ඨභාවය නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ශ්රේෂ්ඨභාවයයි කියනු ලැබේ. “මහණෙනි, ශ්රේෂ්ඨභාවයාගේ ඵලය නම් කවරේද? සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය යන මොහුයි. මහණෙනි, මොව්හු ශ්රේෂ්ඨභාවයාගේ ඵලයයි කියනු ලැබේයයි’ වදාළසේක.