1. 2. 3.
සේඛ සූත්‍රය
13. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, සේඛය, සේඛයයි කියනු ලැබේ. ස්වාමීනි, කෙසේ වනාහි සේඛයෙක් වෙයිද?” කියායි. “මේ ශාසනයෙහි මහණතෙම (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් සංකල්පයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් වචනයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් කර්මාන්තයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් ආජීවයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් සතියෙන් යුක්තවෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් සමාධියෙන් යුක්තවූයේ වෙයිද, මහණ, මෙපමණකින් වනාහි (ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන බැවින්) සේඛ නම් වේයයි” වදාළසේක.
1. 2. 4.
උප්පාද සූත්‍රය
14. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, තථාගත අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් හැර වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන්නාවූ මේ ධර්මයෝ අට නූපදිත්. “ඒ කවරහුද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, තථාගත අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් හැර වඩන ලද්දාවූ බහුලකරන ලද්දාවූ නූපන්නාවූ මේ ධර්මයෝ නූපදිත්යයි” වදාළසේක.
1. 2. 5.
දෙවන උප්පාද සූත්‍රය
15. (මේ සූත්‍රයද මේ වර්ගයේ හතරවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි සුගත විනය නම් මේ ශාසනය හැර අන් තැනක වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන්නාවූ මේ ධර්මයෝ නූපදිත්. ඒ කවර ධර්ම අටක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන්නාවූ මේ ධර්ම අට සුගත විනය සංඛ්‍යාත ශාසනයෙහි හැර අන් තන්හි නූපදිත්යයි” වදාළසේක.
1. 2. 6.
පරිසුද්ධ සූත්‍රය
16. (මේ සූත්‍රයද මේ වර්ගයේ හතරවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, ස්වභාවයෙන් පිරිසිදු අතිශයින් පිරිසිදු රාගාදි කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් හැර නූපදිත්. කවර නම් ධර්ම අටක්ද යත්? හේ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහලවීමෙන් හැර ස්වභාවයෙන් පිරිසිදු විශේෂයෙන් පිරිසිදු රාගාදී කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්මයෝ නූපදිත්යයි” වදාළසේක.
1. 2. 7.
දෙවන පරිසුද්ධ සූත්‍රය
17. (මේ සූත්‍රයද මේ වර්ගයේ හතරවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, ස්වභාවයෙන් පිරිසිදුවූ විශේෂයෙන් පිරිසිදුවූ රාගාදී කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට සුගත විනය නම් මේ ශාසනයෙහි හැර අන් තැනක නූපදිත්. කවර නම් ධර්ම අටක්ද යත්? හේ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, ස්වභාවයෙන් පිරිසිදු විශේෂයෙන් පිරිසිදු රාගාදි කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට සුගත විනය සංඛ්‍යාත ශාසනයෙහි හැර අන්තැනක නූපදිත්යයි” වදාළේය.