1. 2. 4.
උප්පාද සූත්‍රය
14. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, තථාගත අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් හැර වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන්නාවූ මේ ධර්මයෝ අට නූපදිත්. “ඒ කවරහුද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, තථාගත අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් හැර වඩන ලද්දාවූ බහුලකරන ලද්දාවූ නූපන්නාවූ මේ ධර්මයෝ නූපදිත්යයි” වදාළසේක.
1. 2. 5.
දෙවන උප්පාද සූත්‍රය
15. (මේ සූත්‍රයද මේ වර්ගයේ හතරවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි සුගත විනය නම් මේ ශාසනය හැර අන් තැනක වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන්නාවූ මේ ධර්මයෝ නූපදිත්. ඒ කවර ධර්ම අටක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන්නාවූ මේ ධර්ම අට සුගත විනය සංඛ්‍යාත ශාසනයෙහි හැර අන් තන්හි නූපදිත්යයි” වදාළසේක.
1. 2. 6.
පරිසුද්ධ සූත්‍රය
16. (මේ සූත්‍රයද මේ වර්ගයේ හතරවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, ස්වභාවයෙන් පිරිසිදු අතිශයින් පිරිසිදු රාගාදි කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් හැර නූපදිත්. කවර නම් ධර්ම අටක්ද යත්? හේ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහලවීමෙන් හැර ස්වභාවයෙන් පිරිසිදු විශේෂයෙන් පිරිසිදු රාගාදී කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්මයෝ නූපදිත්යයි” වදාළසේක.
1. 2. 7.
දෙවන පරිසුද්ධ සූත්‍රය
17. (මේ සූත්‍රයද මේ වර්ගයේ හතරවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, ස්වභාවයෙන් පිරිසිදුවූ විශේෂයෙන් පිරිසිදුවූ රාගාදී කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට සුගත විනය නම් මේ ශාසනයෙහි හැර අන් තැනක නූපදිත්. කවර නම් ධර්ම අටක්ද යත්? හේ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, ස්වභාවයෙන් පිරිසිදු විශේෂයෙන් පිරිසිදු රාගාදි කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට සුගත විනය සංඛ්‍යාත ශාසනයෙහි හැර අන්තැනක නූපදිත්යයි” වදාළේය.
1. 2. 8.
කුක්කුටාරාම සූත්‍රය
18. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේද පැළලුප් නුවර කුක්කුටාරාමයේ වැඩ වසති. එකල්හි වනාහි ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. “ඇවැත් ආනන්දයෙනි, අබ්‍රහ්මචරියාව අබ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් වනාහි අබ්‍රහ්මචරියාවද?
“ආයුෂ්මත් භද්‍රයෙනි, යහපති, යහපති, ආයුෂ්මත් භද්‍රය, තාගේ ප්‍රශ්නය වනාහි යහපත්ය. වැටහීම යහපති, විචාරීම යහපති. ‘ඇවැත් ආනන්දයෙනි, අබ්‍රහ්මචරියාව, අබ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. අබ්‍රහ්මචරියාව නම් කුමක්ද?’ කියා අසන්නෙහිද?’ “ඇවැත්නි, එසේය.” “ඇවැත්නි, මේ අංග අටක් ඇති මිථ්‍යා මාර්ගය අබ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඒ කවරහුද? මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය, යන මොහුයි.”
1. 2. 9.
දෙවන කුක්කුටාරාම සූත්‍රය
19. (මේ සූත්‍රයද මේ වර්ගයේ අටවෙනි සූත්‍රය මෙන් කුක්කුටාරාමයේදී දේශනා කරන ලදී.)
එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. “ඇවැත්නි ආනන්දය, බ්‍රහ්මචරියාවය බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? බ්‍රහ්මචරියාවගේ කෙළවර කුමක්ද?
“ආයුෂ්මත් භද්‍රය, යහපති, යහපති, ආයුෂ්මත් භද්‍රය, තාගේ ප්‍රශ්නය වනාහි යහපති, වැටහීම යහපති, විචාරීම යහපති. ඇවැත් භද්‍රය, නුඹ මෙසේ අසන්නෙහිද? ‘ඇවැත් ආනන්දයෙනි, බ්‍රහ්මචරියාවය බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද? බ්‍රහ්මචරියාවේ කෙළවර කුමක්ද කියායි. “ඇවැත්නි, එසේය.”
“ඇවැත්නි, මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඒ කවරහුද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. ඇවැත්නි, යම් ඒ රාගය නැති කිරීමක් වේද, දෝෂය නැති කිරීමක් වෙත්ද, මෝහය නැති කිරීමක් වේද, මෙය බ්‍රහ්මචරියාවගේ කෙළවරයයි කියනු ලැබේ.”