2. විහාර වර්ගය
1. 2. 1.
විහාර සූත්රය
11. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළසේක. “මහණෙනි, මම අඩ මසක් හුදකලාව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙණෙන එක භික්ෂුවක් හැර කිසිවෙක් නොපැමිණිය යුතුය” යනුයි. “ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය ගෙන යන එක භික්ෂුවක් හැර අන් කිසිවෙක් භාග්යවතුන් වහන්සේ කරා නොපැමිණෙයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් හුදකලා වාසයෙන් වෙන්වූයේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ප්රථමාසම්බෝධිය ඇති (බුදුවී එකුන් පනස් දින ඇතුළත) ඒ මම යම් ධර්මයක් මෙනෙහි කරමින් විසුයෙම්ද? ඒ ධර්මයන් අතුරෙන් වේදනා සංඛ්යාත එක්තරා ධර්මයක් සිහි කරමින් විසුවෙමි. ඒ මම මෙසේ දැනගතිමි. මිථ්යාදෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක වේදනාවද) දැනගතිමි. සම්යක් දෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්යා සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්යක් සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්යාවචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාවද දැනගතිමි. සම්යක් වචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්යා කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්යක් කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්යා ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්යක් ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනා ද දැන ගතිමි. මිථ්යා ව්යායාමය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්යක් ව්යායාමය නිසා උපදින (කුසලා කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්යා සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්යක් සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්යා සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්යක් සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. “ඡන්දය නිසා උපදින (අට වැදෑරුම් ලෝභ සහගත) වේදනාද දැනගතිමි. විතර්කය නිසා උපදින (ප්රථමධ්යාන) වේදනාද දැනගතිමි. සංඥාව නිසා උපදින (සවැදෑරුම් සඤ්ඤා සමාපත්ති) වේදනාද දැනගතිමි.
“ඡන්දයද නොසන්සිඳුනේ වෙයිද, විතර්කයෝද නොසන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද, ඒ නිසා උපදින (අෂ්ට ලෝභ සහගත) වේදනාද දැනගතිමි.ඡන්දය සන්සිඳුනේ වෙයිද, විතර්කයෝ නොසන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද ඒ නිසා උපදින (ප්රථමධ්යාන) වේදනාද දැනගතිමි. ඡන්දයද සන්සිඳුනේ වෙයිද, විතර්කයෝද සන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද, ඒ නිසා උපදින (දුතියජ්ඣාන) වේදනාද දැනගතිමි. ඡන්දය සන්සිඳුනේ වෙයිද, විතර්කයෝද සන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝද සන්සිඳුනේ වෙත්ද ඒ නිසා උපදින (නේවසඤ්ඤානාසඤ්ඤායතන) වේදනාද දැනගතිමි. අර්හත් ඵලයට පැමිණීම පිණිස උත්සාහ ඇත. ඊට කරුණ නොපැමිණි කල්හි ඊට හේතුවන්නාවූ (සතර මාර්ගයෙන් හා යෙදුනාවූ) වේදනාවද දැනගතිමියි වදාළේය.
1. 2. 2.
දෙවන විහාර සූත්රය
12. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වසන සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළසේක. “මහණෙනි, මම තෙමසක් හුදකලාව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන එක් භික්ෂුවක් හැර කිසිවෙක් නොපැමිණිය යුතුයි.” ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනියි” කියා භාග්යවතුන් වහන්සේට උත්තර දී පිණ්ඩපාතය ගෙන යන එක භික්ෂුවක් හැර කිසිවෙක් භාග්යවතුන් වහන්සේ කරා නොපැමිණෙයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ තුන් මස ඇවෑමෙන් හුදකලා වාසයෙන් වෙන්වූයේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ප්රථමාසම්බෝධිය ඇති (බුදුවී පළමුවන එකුන් පනස් දින ඇතුළත) ඒ මම යම් ධර්මයක් මෙනෙහි කරමින් විසුයෙම්ද ඒ ධර්ම අතුරෙන් වේදනා සංඛ්යාත එක්තරා ධර්මයක් මෙනෙහි කරමින් විසුයෙමි. “ඒ මම මෙසේ දැනගතිමි. මිථ්යාදෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාවද දැනගතිමි. මිථ්යාදෘෂ්ටිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් දෘෂ්ටිය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් දෘෂ්ටිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා සංකල්පය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා සංකල්පය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් සංකල්පය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් සංකල්පය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා වචනය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා වචනය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් වචනය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් වචනය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා කර්මාන්තය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා කර්මාන්තය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් කර්මාන්තය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් කර්මාන්තය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා ආජීවය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා ආජීවය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් ආජීවය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් ආජීවය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා ව්යායාමය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා ව්යායාමය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් ව්යායාමය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් ව්යායාමය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා සතිය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා සතිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් සතිය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් සතිය සංඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා සමාධිය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්යා සමාධිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් සමාධිය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්යක් සමාධිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. “ඡන්දය නිසා උපදින වේදනාවද දැනගතිමි. ඡන්දය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. විතර්කය නිසා උපදින වේදනාවද දැනගතිමි. විතර්කය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සංඥාව නිසා උපදින වේදනාවද දැන ගතිමි. සංඥාව සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
ඡන්දයද නොසන්සිඳුනේ වෙයි. විතර්කයෝද නොසන්සිඳුනාහු වෙත්, සංඥාවෝද නොසන්සිඳුනාහු වෙත්, ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි. “ඡන්දයද සංසිඳුනේ වෙයි, විතර්කයෝද නොසන්සිඳුනාහු වෙත්, සංඥාවෝද නොසන්සිඳුනාහු වෙත්, ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි. ඡන්දයද සංසිඳුනේ වෙයි, විතර්කයෝද සංසිඳුනාහු වෙත්. සංඥාවෝද නොසන්සිඳුනාහු වෙත්, ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි. “ඡන්දයද සංසිඳුනේ වෙයි, විතර්කයෝද සංසිඳුනාහු වෙත්, සංඥාවෝද සංසිඳුනාහු වෙත්, ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි. නොපැමිණි අර්හත් ඵලයට පැමිණීම පිණිස උත්සාහය ඇත. ඒ අර්හත් ඵලයට කරුණු නොපැමිණි කල්හි ඒ නිසා උපදින හේතුවද දැනගතිමි.
1. 2. 3.
සේඛ සූත්රය
13. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව වනාහි භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, සේඛය, සේඛයයි කියනු ලැබේ. ස්වාමීනි, කෙසේ වනාහි සේඛයෙක් වෙයිද?” කියායි. “මේ ශාසනයෙහි මහණතෙම (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්යක් දෘෂ්ටියෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්යක් සංකල්පයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්යක් වචනයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්යක් කර්මාන්තයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්යක් ආජීවයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්යක් ව්යායාමයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්යක් සතියෙන් යුක්තවෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්යක් සමාධියෙන් යුක්තවූයේ වෙයිද, මහණ, මෙපමණකින් වනාහි (ත්රිවිධ ශික්ෂාවෙහි හික්මෙන බැවින්) සේඛ නම් වේයයි” වදාළසේක.