1. 16. 145-160.
10. උද්ධම්භාගියසංයෝජන සූත්‍ර
531-546. “මහණෙනි, මේ උද්ධම්භාගිය (උඩ කොට්ඨාශය වන රූපාරූප භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යන මොහුයි. මහණෙනි, මේ වනාහී උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පඤ්චකයාගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය කිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
(ඒෂණා සූත්‍රාන්තයන් මෙන් සියලු පෙය්‍යාලයන්හි සොළොස් සූත්‍රාන්ත බැගින් විස්තර කළ යුතුය.)
ඕඝවග්ගො අට්ඨමො.
එහි උදානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය ද, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය සහ උද්ධම්භාගිය දැයි (මෙම වර්ගයෙ හි සූත්‍ර වෙත්).
මාර්ග සංයුත්තය නිමි.
එහි වර්ග උදානය:
අවිද්‍යා වර්ගය පළමුවැන්නයි, විහාර වර්ගය දෙවැන්න යැයි කියනු ලැබේ. මිච්ඡත්ත වර්ගය තෙවැන්නයි, පටිපත්ති වර්ගය සිව්වැන්නයි. අන්‍යතිර්ථිය වර්ගය පස්වැන්නයි, සූරියපෙය්‍යාල වර්ගය සයවැන්නයි. ඒකධම්ම පෙය්‍යාලය ද, ගංගා පෙය්‍යාල දෙක ද, පෙය්‍යාල සතර ද වෙත්. අප්පමාද වර්ගය තෙළෙස්වැන්නයි, බල වර්ගය තුදුස්වැන්නයි. ඒෂණා වර්ගය පසළොස්වැන්නයි, ඕඝ වර්ගය සොළොස්වැන්නයි.