8. 1. 9.
9. කුල සූත්රය
361. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මහත් භික්ෂු සමූහයක් සමග කොසොල් රට සැරිසරන සේක් නාලන්දාව යම් තැනෙක්හිද එහි වැඩිසේක. භාග්යවතුන් වහන්සේ එහි වැඩ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරයි. ඒ කාලයෙහි නාලන්දාවෙහි (ජීවත් වෙමුද, නොවෙමුදැයි) සැක සිතෙන, (මළ මිනිසුන්ගේ) සුදුවූ ඇට (තැනින් තැන) ඇති, (වපුරණ ලද්දේ) කෝටු පමණක් ඇති දුර්භික්ෂයක් වූයේය. ඒ කාලයෙහි නිගණ්ඨනාත පුත්ර තෙමේද මහත් නිගණ්ඨ පිරිසක් සමග නාලන්දා නුවර වාසය කරයි. ඉක්බිති නිගණ්ඨනාත ශ්රාවකවූ අසිබන්ධක පුත්ර ගාමණිතෙම නිගණ්ඨනාත පුත්රතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ නිගණ්ඨනාතපුත්ර වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් අසිබන්ධකපුත්ර ගාමණීට නිගණ්ඨනාත පුත්රතෙම මෙසේ කීවේය:
“ගාමණිය, ඔබ මෙහි එව, ශ්රමණ භවත් ගෞතමයන් හා වාදයක් නගව, ‘මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති ශ්රමණභවත් ගෞතමයන්ට අසිබන්ධකපුත්ර ගාමණී විසින් වාදයක් නගන ලද්දේයයි’ මෙසේ තොපගේ යහපත් කීර්ති ශබ්දය පැන නගින්නේය.” “ස්වාමීනි, මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති ශ්රමණ භවත් ගෞතමයන්ට මම කෙසේ වාදයක් නගන්නෙම්ද?" “ගාමණිය, එම ශ්රමණ ගෞතමතෙම යම් තැනෙක්හිද එතැනට යව, ගොස් ශ්රමණ ගෞතමයන්ට ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව වර්ණනා කරන්නේ නොවේදැයි’ අසව.
“ඉදින් ගාමණිය, මෙසේ අසන ලද ශ්රමණ ගෞතමතෙම ‘ගාමණිය, එසේය, තථාගතතෙම නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව, වර්ණනා කෙරේයයි’ මෙසේ ප්රකාශ කරයි නම් ඔහුට ඔබ ‘ස්වාමීනි, ඉදින් එසේ නම් භාග්යවතුන් වහන්සේ කුමක් හෙයින් ජීවත්වෙමුද නොවෙමුදැයි සැක සිතෙන, මළවුන්ගේ සුදු ඇට තැනින් තැන ඇති, වපුරණ ලද්දේ කෝටු පමණක් ඇති දුර්භික්ෂයෙහි මහත් භික්ෂු සමූහයක් සමග චාරිකාවෙහි හැසිරේද? භාග්යවතුන් වහන්සේ කුලයන්ගේ නැසීම පිණිස පිළිපන්නෝය. භාග්යවතුන් වහන්සේ කුලයන්ගේ විනාශය පිණිස පිළිපන්නෝය. භාග්යවතුන් වහන්සේ කුලයන්ගේ හානිය පිණිස පිළිපන්නෝයයි’ කියව. ගාමිණිය, තොප විසින් මේ උභතෝකෝටික ප්රශ්නය අසන ලද ශ්රමණ ගෞතමයන්ට ගිලින්ට හෝ වමාරන්ට හෝ නොහැකිවේයයි”
“ස්වාමීනි, එසේයයි” අසිබන්ධක පුත්ර ගාමණිතෙම නිගණ්ඨනාත පුත්රයාට පිළිතුරු දී හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්රයා වැඳ ගරු කොට භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි අසිබන්ධක පුත්ර ගාමණිතෙම භාග්යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව වර්ණනා කරන්නේ නොවේද?” “ගාමණිය, එසේය. තථාගතතෙමේ නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව වර්ණනා කරයි.” "ස්වාමීනි, එසේනම්, කුමක් හෙයින් භාග්යවතුන් වහන්සේ ජීවත් වෙමුද, නොවෙමුදැයි සැක සිතෙන, මළවුන්ගේ සුදු ඇට තැනින් තැන ඇති, වපුරණ ලද්දේ කෝටු පමණක් ඇති මේ දුර්භික්ෂයෙහි මහත් භික්ෂු සමූහයක් සමග චාරිකාවෙහි හැසිරේද, භාග්යවතුන් වහන්සේ කුලයන්ගේ සිඳීම පිණිස පිළිපන්නෝය. කුලයන්ගේ විනාශය පිණිස පිළිපන්නෝය. කුලයන්ගේ හානිය පිණිස පිළිපන්නෝ යයි” කීයේය.
“ගාමණිය, මම මෙයින් අනූඑක්කල්පයක් සිහිකරමි. ඒ කාලය තුළ ඉදුණු යමක් දීමෙන් විනාශවුණු එක කුලයක් වත් නොදනිමි. තවද ආඪ්යවූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ උපකරණ ඇති බොහෝ ධන ධාන්ය ඇති යම් ඒ කුලයෝ වෙත්ද, ඒ සියලු කුලයෝ දානයෙන් ඇතිවූහ. සත්යයෙන් ඇතිවූහ. සංයමයෙන් ඇති වූහ.
ගාමණිය, කුලයන් විනාශයට හේතු අටක් වෙත්. ප්රත්යය අටක් වෙත්. රජුන්ගෙන් හෝ කුලයෝ විනාශයට යත්. සොරුන්ගෙන් හෝ කුලයෝ විනාශයට යත්. ගින්නෙන් හෝ කුලයෝ විනාශයට යත්. ජලයෙන් හෝ කුලයෝ විනාශයට යත්. නිදන් කරන ලද්දේ හෝ නොලැබෙත්. නපුරු කොට යොදන ලද සේවකයෝ හෝ කර්මාන්ත අත් හරිත්. ඒ වස්තු වියදම් කරන විනාශ කරන නැති කරන කුලයට අඟුරක් වැනියෙක් හෝ පහළවෙයි. අනිත්යතාව අටවැනි කාරණය වෙයි. ගාමිණී, කුල නැසීම පිණිස මේ හේතු අට ය. ප්රත්යය අට ය. ගාමණිය, මේ හේතු අට, ප්රත්යය අට ඇති කල්හි විද්යමාන කල්හි යමෙක් "භාග්යවත්තෙමේ කුලයන්ගේ සිඳීම පිණිස පිළිපන්නේය. භාග්යවත්තෙමේ කුලයන්ගේ විනාශය පිණිස පිළිපන්නේය. භාග්යවත්තෙමේ කුලයන්ගේ හානිය පිණිස පිළිපන්නේය"යි මට මෙසේ කියන්නේ නම් ගාමණිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට හෙතෙමේ ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එසේ නරකයෙහි උපදින්නේයයි” වදාළේය.