1. ගාමණී වර්ගය
8. 1. 1.
1. චණ්ඩගාමණී සූත්‍රය
415. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු මහසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි චණ්ඩ ගාමණීතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ස්වාමීනි, යම් කාරණයෙකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නපුරුය යන සංඛ්‍යාවට යේද ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද, යම් කාරණයෙකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මෘදුය යන සංඛ්‍යාවට යේද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍ය කවරේදැයි?” ඇසීය.
ගාමණිය, මේ ලෝකයෙහි ඇතැමෙකුගේ රාගය දුරු නොවූයේ වේද, රාගය දුරු නොවීම නිසා අන්‍යයෝ ඔහු කෝප කරවත්. අනුන් විසින් කෝප කරවනු ලබන්නේ කෝපය පහළකරයි. හෙතෙම නපුරුය යන සංඛ්‍යාවට පැමිණෙයි. ද්වේෂය දුරු නොවූයේ වේද, ද්වේෂය දුරු නුවූ බැවින් අන්‍යයෝ ඔහු කෝප කරවත්, අනුන් විසින් කෝප කරවනු ලබන්නේ කෝපය පහළකරයි. හෙතෙම නපුරුය යන සංඛ්‍යාවට පැමිණෙයි. මෝහය දුරු නොවූයේ වෙයි. මෝහය දුරු නුවූ බැවින් අන්‍යයෝ කෝප කරවත්. අනුන් විසින් කෝපකරවනු ලබන්නේ කෝපය පහළකරයි. හෙතෙම නපුරුය යන සංඛ්‍යාවට පැමිණෙයි. ගාමිණිය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැමෙක් චණ්ඩය යන සංඛ්‍යාවට පැමිණේද මේ ඊට හේතුවයි මේ ඊට ප්‍රත්‍යයයි.
ගාමණිය, මේ ලෝකයෙහි ඇතැමෙකුගේ රාගය දුරු වූයේවේද රාගය දුරුවූ බැවින් අන්‍යයෝ කෝප නොකරවත්. අන්‍යයන් විසින් කෝප නොකරවනු ලබන්නේ කෝපය පහළ නොකරයි. හෙතෙම මෘදුය යන සංඛ්‍යාවට පැමිණෙයි. ද්වේෂය දුරුවූයේ වෙයි. ද්වේෂය දුරුවූ බැවින් අන්‍යයෝ කෝප නොකරවත්. අන්‍යයන් විසින් කෝප නොකරවනු ලබන්නේ කෝපය පහළ නොකරයි. හෙතෙම මෘදුය යන සංඛ්‍යාවට පැමිණෙයි. මෝහය දුරුවූයේ වෙයි. මෝහය දුරුවූ බැවින් අන්‍යයෝ කෝප නොකරවත්. අන්‍යයන් විසින් කෝප නොකරවනු ලබන්නේ කෝපය පහළ නොකරයි. හෙතෙම මෘදුය යන සංඛ්‍යාවට පැමිණෙයි. ගාමණිය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැමෙක් මෘදුය යන සංඛ්‍යාවට පැමිණේද මේ ඊට හේතුවයි මේ ප්‍රත්‍යයයි වදාළේය.
මෙසේ වදාළකල්හි චණ්ඩ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මගකියන්නේද ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගිය උපාසකයෙකු කොට මා දරන සේක්වායි කීයේය.
8. 1. 2.
2. තාලපුට සූත්‍රය
416. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වෙළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි තාලපුට ගාමිණී නම් නළුවෙක් (නැටුම් කරුවෙක්) භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් තාලපුට ගාමිණී නම් නළුවා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ‘ස්වාමීනි යම් නළුවෙක් රඟ මැද, නෘත්‍ය මැද, ඇත්තෙන්ද, බොරුවෙන්ද, ජනයා සතුටු කරයිද, ඇලුම් කරවයිද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයේදී කුමක් කියන්නේද යනුයි.
“ගාමිණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි” වදාළේය. දෙවනුවත් තාලපුට ගාමිණි නම් නළුවා භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, යම් ඒ නළුවෙක් රඟ මැද නෘත්‍ය මැද ඇත්තෙන්ද බොරුවෙන්ද ජනයා සතුටු කරවයිද ඇලුම්කරවයිද හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කුමක් කියන්නේදැ”යි ඇසීය. “ගාමිණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි” වදාළේය. තුන්වෙනුවත් තාලපුට ගාමිණි නළුවා භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, යම් ඒ නළුවෙක් රඟ මැද නෘත්‍ය මැද ඇත්තෙන්ද බොරුවෙන්ද, ජනයා සතුටු කරවයිද ඇලුම් කරවයිද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කුමක් කියන්නේදැයි” ඇසීය.