8. 1. 10.
10. මණිචූළක සූත්රය
362. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වාසය කරන සේක. ඒ කාලයෙහි රජුගේ ඇතුළු නුවරෙහි රාජ පිරිසෙහි රැස්වූවන් අතරෙහි මේ කථාව ඇතිවිය. ‘ශ්රමණ ශාක්ය පුත්රයන්ට රන් රිදී කහවණු කැප ය. ශ්රමණ ශාක්යපුත්රයෝ රන් රිදී කහවණු ඉවසත්. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණු පිළිගනිති'යි යනුයි.
ඒ කාලයෙහි මණිචූළක ගාමණි තෙම ඒ පිරිසෙහි හුන්නේ විය. එකල්හි මණිචූළකතෙම, “ආචාර්යයෝ මෙසේ නොකියත්වා, ශ්රමණ ශාක්ය පුත්රයන්ට රන් රිදී කහවණු කැප නැත. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණුවලින් දුරුවූවෝයයි” කීය. මණිචූළක ගාමණි ඒ පිරිසට අවබෝධ කරවන්ට හැකි විය. ඉක්බිති මණිචූළක ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මණිචූළකො ගාමණි භගවන්තං එතදවොච:
“ස්වාමීනි, මෙහි රජුගේ ඇතුල් නගරයෙහි රජ පිරිසෙහි රැස්වූවන් අතර ‘ශ්රමණ ශාක්ය පුත්රයන්ට රන් රිදී කහවණු කැප ය. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණු ඉවසත්. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණු පිළිගනිති'යි යන මේ කථාව පහළ විය. ස්වාමීනි, මෙසේ කී ඒ පිරිසට මම ‘ආර්යයෙනි එසේ නොකියනු මැනව. ශ්රමණ ශාක්ය පුත්රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්රමණ ශාක්ය පුත්රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ'යි කීවෙමි. ස්වාමීනි, මට ඒ පිරිසට අවබෝධ කරවන්නට හැකි විය. ස්වාමීනි, කිමෙක්ද මෙසේ කියන්නාවූ මම භාග්යවතුන් වහන්සේ කියන ලද්දක් කියන්නෙක් වූයෙම්ද? භාග්යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකෙරෙම්ද? ධර්මයට අනුකූල දෙයක් ප්රකාශ කෙරෙම්ද? කිසියම් කරුණු සහිත, වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණෙම්ද? යනුයි.
“ගාමණිය, මෙසේ ප්රකාශ කරනු ලැබූ ඔබ ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක්ම කියන්නෙක් වූයෙහිය. ඔබ බොරුවෙන් චෝදනා නොකරන්නෙහිය. ධර්මයට අනුකූල දෙයක් ප්රකාශ කෙළෙහිය. කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණියේයි. ගාමණිය, ශ්රමණ ශාක්ය පුත්රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්රමණ ශාක්ය පුත්රයෝ රන් රිදී කහවණු පිළිනොගනිත්. ශ්රමණ ශාක්ය පුත්රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ.
ගාමණිය, යමෙකුට රන් රිදී කහවණු කැප නම්, ඔහුට පස්කම් සැපම කැප වෙත්. යමෙකුට පස්කම් ගුණ කැප වේ නම්, ඒකාන්තයෙන් අශ්රමණ ධර්ම ඇත්තෙක. අශාක්යපුත්රීය ධර්ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. එහෙත් ගාමණිය මම මෙසේ කියමි. තෘණ කැමැත්තවුන් විසින් තෘණ සෙවිය යුතුය. ලී දඬු කැමැත්තන් විසින් ලී දඬු සෙවිය යුතුය. ගැල්වලින් ප්රයෝජන ඇත්තන් විසින් ගැල් සෙවිය යුතුය. පුරුෂයන්ගෙන් ප්රයෝජන ඇත්තන් විසින් පුරුෂයන් සෙවිය යුතුය. ගාමණිය, මම කිසිම ආකාරයකින් රන් රිදී මසු සෙවිය යුතුයයි, ඉවසිය යුතුයැයි නොකියමියි.” වදාළසේක.
8. 1. 11.
11. භද්රක සූත්රය
363. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මල්ල ජනපදයන්හි උරුවෙල කප්ප නම් මල්ල රජවරුන්ගේ නියම් ගමෙහි වාසය කරන සේක. එකල්හි භද්රක ගාමණිතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් භද්රක ගාමණිතෙම භාග්යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට දුකට හේතුවද, දුක නැතිකිරීමද, දේශනා කරන්නේ නම් යහපතැයි කීයේය. “ඉදින් ගාමණිය, මම ඔබට අතීත කාලයෙහි මෙසේ වී යයි අතීත කාලය අරබයා දුකට හේතුවද දුක නැති කිරීමද දේශනා කරන්නෙම් නම් එහි ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මම ඔබට අනාගත කාලය අරබයා අනාගත කාලයෙහි මෙසේ වන්නේ යයි දුකට හේතුවත් දුක නැති කිරීමත් ඉදින් දේශනා කරන්නෙම් නම් එහිද ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මෙහි ඉන්නාවූ මම, මෙහි ඉන්නාවූ තොපට දුකට හේතුවද දුක නැති කිරීමද, දේශනා කරන්නෙමි. එය අසව. යහපත් සේ මෙනෙහි කරව. දේශනා කරන්නෙමි”යි වදාළේය. “එසේයයි ස්වාමීනි, භද්රක ගාමණිතෙම භාග්යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය.