8. 1. 8.
සංඛධම සූත්රය
360. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරන සේක. එකල්හි නිගණ්ඨ ශ්රාවකවූ අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් අසිබන්ධක පුත්ත ගාමණිගෙන් භාග්යවතුන් වහන්සේ “ගාමණිය, නිගණ්ඨනාත පුත්රතෙම කෙසේ ශ්රාවකයන්ට ධර්ම දේශනා කෙරේදැයි” ඇසූ සේක.
“ස්වාමීනි, නිගණ්ඨනාත පුත්රතෙම යම් කිසිවෙක් සතුන් මරයිද, ඒ හැමදෙන අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් නුදුන් දේ ගනීද, ඒ හැමදෙන අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරෙන්නේද, ඒ සියල්ලෝ අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් බොරු කියයිද, ඒ සියල්ලෝ අපායට යන්නෝය. නිරයට යන්නෝය. යමක් යමක් බහුලව කෙරෙමින් වාසය කරයිද, එයින් එයින් පැමිණේයයි මෙසේ ශ්රාවකයන්ට ධර්ම දේශනා කෙරේයයි කීයේය.
“ගාමණිය, යමක් යමක් බහුලකොට කරමින් වාසය කෙරේද, ඒ ඒ දෙයින් යන්නේ නම් එසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්රයාගේ වචනය පරිදි කිසිවෙක් අපායට නොයන්නේය. නිරයට නොයන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? “යම් ඒ පුරුෂයෙක් සතුන් මරන්නේ නම් කල් නොකල් දෙක අනුව බලන කල්හි රාත්රියෙහි හෝ දවල් හෝ යම් කලෙක ඔහු සතුන් මරන්නේද, යම් කලෙක ඔහු සතුන් නොමරන්නේද, ඒ දෙකින් වැඩි කාලය කුමක්ද?”
“ස්වාමීනි කල් නොකල් දෙක අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් රාත්රියෙහි හෝ දවල් හෝ යම් කාලයක සතුන් මරන්නේද යම් කාලයක හෙතෙම සතුන් නොමරන්නේද ඒ කාල දෙකින් ඔහු සතුන් මරන්නාවූ කාලයම ටිකය. ඔහු සතුන් නොමරන්නාවූ කාලයම වැඩිය.” “ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරන්නේද එයින් එයින් යන්නේයයි කියන්නේ නම් මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් රාත්රියෙහි හෝ දවල් හෝ යම් කලෙක නුදුන් දෙය ගන්නේද යම් කලෙක හෙතෙම නුදුන් දෙය නොගන්නේද ඒ කාල දෙකින් කුමක් වැඩි කාලය වන්නේද?” “ස්වාමීනි, කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් තෙම රාත්රියෙහි හෝ දවල් හෝ යම් කලෙක නුදුන් දෙය ගනීද, යම් කාලයක නුදුන් දෙය නොගනීද, ඒ කාල දෙකින් ඔහු නුදුන් දෙය ගන්නා කාලය ස්වල්ප වන්නේය. හෙතෙම යම් කලෙක නුදුන් දෙය නොගන්නේද ඒ කාලයම වැඩිය.” “ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරන්නේද එයින් එයින් යන්නේයයි කියන්නේ නම් මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත්තේය.