8. 1. 7.
ඛෙත්තූපම සූත්‍රය
359. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරන සේක. එකල්හි අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අසිබන්ධකපුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරන සේක් නොවේ දැයි” ඇසීය. ගාමණිය, එසේය. තථාගතයන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරයි. එසේ නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් සමහරුන්ට සකස්කොට ධර්ම දේශනා කරන්නේද, ඇතැමුන්ට සකස් කොට ධර්ම දේශනා නොකරන්නේද?- එසේ වී නම් මෙහිදී තොපගෙන්ම අසමි. යම්සේ තොපට වැටහේද එසේ ප්‍රකාශ කරන්නෙහිය.
“ගාමණිය, මේ ලෝකයෙහි ගොවිතැන් කරන ගෘහපතියෙකුට කුඹුරු තුනක් වෙත්. එකක් අග්‍රය. එකක් මධ්‍යමය. එකක් කර්කශය, කරදිය සහිතය, මුඩු බිමකි. ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද ඒ ගොවිතැන් කරන ගෘහපති තෙම බිජු වපුරණු කැමැත්තේ යම් ඒ කෙතක් අග්‍ර වෙයිද, යම් ඒ කෙතක් මධ්‍යමද, යම් ඒ කෙතක් කර්කශද කරදිය සහිතද, මුඩු බිමක්වේද එයින් කවර කෙතක පළමුකොට බිජු වපුරන්නේද?” “ස්වාමීනි බිජු වපුරනු කැමැත්තාවූ ඒ ගෘහපතිතෙම යම් කෙතක් අග්‍රද, එහි පළමුව වපුරන්නේය. එහි වපුරා යම් කුඹුරක් මධ්‍යමද, එහි වපුරන්නේය. එහි වපුරා යම් කෙතක් රළුද කරදිය සහිතද, මුඩු බිමක්ද, එහි යටත් පිරිසෙයින් ගවයන්ට කෑම පිණිසවත් වන්නේයයි වපුරන්නේ හෝ වෙයි. නො වපුරන්නේ හෝ වෙයි.”
“ගාමණිය යම්සේ යම් ඒ කෙතක් අග්‍රද, මට භික්ෂු භික්ෂුණීහුද එසේමය. මම ඔවුන්ට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිත වූද, සර්වප්‍රකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? ගාමණිය, මොව්හු මා පිහිටකොට ඇත්තාහ. මා සැඟවෙන තැන්කොට ඇත්තාහ. මා ආරක්ෂා ස්ථාන කොට ඇත්තාහ. මා පිළිසරණ කොට ඇත්තාහ.
“ගාමණිය, යම්සේ යම් ඒ කෙතක් මධ්‍යමද, මට උපාසක උපාසිකාවෝ එසේමය. මම ඔවුන්ටද මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, හාත්පසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශකරමි. ඊට හේතු කවරේද? ගාමණිය මොව්හු මා පිහිටකොට ඇත්තාහ. මා සැඟවෙන තැන්කොට ඇත්තාහ. මා ආරක්ෂා ස්ථාන කොට ඇත්තාහ. මා පිළිසරණ කොට ඇත්තාහ.
“ගාමණිය, යම්සේ යම් ඒ රළු කරදිය ඇති මුඩු බිමක්වූ කෙතක්වේද, මට අන්‍ය තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝත් එසේවෙත්. මම ඔවුන්ටද මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, හාත්පසින් සම්පූර්ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? එක පදයක් නමුත් දැනගන්නේ නම් යහපත. එය ඔවුන්ට බොහෝ කාලයක් හිත පිණිසද සැප පිණිසද වන්නේය කියායි.
“ගාමණිය, යම්සේ පුරුෂයෙකුට කළගෙඩි තුනක් ඇත්තාහුද? එක් කළගෙඩියක් සිදුරු නැත්තේය. ජලය ගන්නේය. ජලය නොසිඳෙන්නේය. එක් කළයක් සිදුරු නැත්තේය. ජලය ගන්නේය. ජලය සිඳෙන්නේය. එක් කළයක් සිදුරු සහිතය. වතුර නොඅල්ලන්නේය. වතුර සිඳෙන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? මේ පුරුෂතෙම ජලය වත්කරනු කැමැත්තේ යම් ඒ කළයක් සිදුරු නැත්තේද වතුර නොසිඳෙන්නේද, යම් ඒ කළයක් සිදුරු නැත්තේද වතුර ගන්නේද සිඳෙන්නේද, යම් ඒ කළයක් සිදුරු සහිතද වතුර නොඅල්ලන්නේද වතුර සිඳෙන්නේද, එයින් කවර කළයකට පළමුවෙන් වතුර වත්කරන්නේද?”