8. 1. 12.
රාසිය සූත්‍රය
426. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති රාසිය නම් ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් රාසිය ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ‘ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස්වලට ගර්හා කරති. රූක්ෂව ජීවත් වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් දොස් කියත්. ආක්‍රොශ කෙරෙත් යයි,’ මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සියලු තපස්වලට ගරහති. රූක්ෂව ජීවත්වන සියලු තපස් ඇත්තන්ට දොස් කියති. ආක්‍රොශ කරතිය’යි කීවාහුද, කිමෙක්ද ඔව්හු භාග්‍යවතුන් වහන්සේ කියන ලද්දක් කියන්නහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරන්නාහුද? ධර්මයට අනුකූල දෙයක් ප්‍රකාශ කරත්ද? කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණේ දැයි” ඇසුයේය.
“ගාමණිය, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස් ගරහති. රූක්ෂව ජීවත්වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් දොස් කියත්. ආක්‍රොශ කරත්”යයි මෙසේ කියන්නාහුද ඔව්හු මා විසින් කියන ලද්දක් කියන්නාහු නොවෙති. ඔව්හු මා හට බොරුවෙන් චෝදනා කරන්නාහුය. “ගාමිණිය, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු මේ අන්ත දෙකක් වෙයි. යම් මේ හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන්ට අයත් ආර්ය නොවූ අනර්ථය පිණිස පවත්නා වූ කම්සැපෙහි ඇලී වාසය කිරීමක් වෙයිද, යම් මේ දුක් වූ අනාර්ය වූ අනර්ථය පිණිස පවත්නා වූ ශරීරයට දුක්දීමෙහි යෙදී වාසය කිරීමක් වෙයිද මේ අන්ත දෙක වෙයි. “ගාමණිය, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා චක්ෂුස ඇති කරන්නේය. ඤාණය ඇති කරන්නේය. කෙලෙස් සංසිඳුවීම පිණිස, විශේෂයෙන් දැනීම පිණිස, යහපත් අවබෝධය පිණිස, නිවන පිණිස පවත්නේය. ගාමණිය, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ප්‍රඥා චක්ෂූස ඇති කරන්නා වූ ඤාණය උපදවන්නා වූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නා වූ විශේෂ ඥානය පිණිස පවත්නා වූ යහපත් අවබෝධය පිණිස පවත්නා වූ නිවන පිණිස පවත්නා වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරීද; සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමය. ගාමණිය, මේ වනාහි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නා වූ, ඤාණය ඇති කරන්නා වූ, කෙලෙස් සංසිඳුවීම පිණිස පවත්නා වූ, විශේෂ ඥානය පිණිස පවත්නා වූ, යහපත් අවබෝධය පිණිස පවත්නා වූ, නිවන පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාවයි.
“ගාමණිය, කාමභෝගීන් තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහුය. කවර තුන්දෙනෙක්ද යත්: ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක්තෙම අධාර්මිකව, සාහසිකව වස්තුව සපයයි. අධාර්මිකව, සාහසිකව වස්තුව සපයා තමාද සැප නොවිඳියි. නොපිණවයි. අනුන්ටද බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම අධාර්මිකව, සාහසිකව වස්තුව සපයයි. අධාර්මිකව, සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. අනුන්ට බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම අධාර්මිකව, සාහසිකව වස්තුව සපයයි. අධාර්මිකව, සාහසිකව වස්තුව සපයා තමාද සුවපත් වෙයි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද, වස්තුව සපයයි. ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයා තමාද සැප නොවිඳියි. නොපිණවයි. බෙදා නොදෙයි. පින් නොකරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයයි. ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තු සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදා නොදෙයි. පින් නොකරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයා තමා සැප විඳියි. බෙදා දෙයි. පින් කෙරෙයි.