8. 1. 13.
පාටලිය සූත්රය
427. එක්කලෙක භාග්යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි උත්තරක නම් කෝලියයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි පාටලිය නම් ගාමණිතෙම භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් පාටලිය ගාමිණිතෙම ‘ස්වාමීනි, මා විසින් ශ්රමණ ගෞතමතෙම මායා දනීයයි අසන ලදී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ශ්රමණ ගෞතමතෙම මායා දනීයයි කීවාහුද, ස්වාමීනි, කිමෙක්ද ඔව්හු භාග්යවතුන් වහන්සේ වදාරණ ලද්දක් කියන්නාහුද, භාග්යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා කරන්නාහු නොවෙත්ද, ධර්මයට අනුකූලවූ දෙයක් කියන්නාහුද, කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණෙයිද? ස්වාමීනි, අපි භාග්යවතුන් වහන්සේට චෝදනා කිරීමට නොකැමැත්තෝ වෙමුයි” කීය.
“ගාමණිය, යම් ඒ කෙනෙක් ‘ශ්රමණ ගෞතමතෙම මායා දනී යයි’කීවාහුද, ඔව්හු මා විසින් කියන ලද්දක්ම කියන්නාහුය. මට බොරුවෙන් චෝදනා කරන්නාහු නොවෙත්. ධර්මයට අනුකූල දෙයක් කියන්නාහුය. කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණෙයි. ‘පින්වත්නි, ශ්රමණ ගෞතමතෙම මායා දනිති'යි ඒ ශ්රමණ බ්රාහ්මණයන්ගේ කීම ඇත්තක්ම වුවත්, අපි නො අදහමු. පින්වත්නි, ශ්රමණ ගෞතමතෙම ඒකාන්තයෙන් මායා ඇත්තෙකැ'යි. ගාමණිය, මම මායා දනිමි'යි යමෙක් කියයි නම්, හෙතෙම මම මායා ඇත්තෙකැයිද, (මෙසේද) කියන්නේද? “භාග්යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේම වෙයි”.“ගාමණිය, එසේනම් මෙය තගෙන්ම අසමි. තොපට යම්සේ වැටහේ නම් එසේ ප්රකාශ කරන්නෙහිය."
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? ගාමණිය, ඔබ කෝලිය රජදරුවන්ගේ ලම්බචූලක නම් භටයන් දන්නෙහිද?” “ස්වාමීනි, මම කෝලිය රජ දරුවන්ගේ ලම්බචූලක භටයන් දන්නෙමි.” “ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? කෝලිය රජදරුවන්ගේ ලම්බචූලක භටයෝ කුමක් සඳහාද?” - “ස්වාමීනි, යම් කෝලිය රට සොරුන් වෙත්ද, ඔවුන් වැළැක්වීමත්, කෝලිය රජදරුවන්ගේ යම් පණිවුඩ පනත් ඇත්ද එය ගෙනයාම සඳහාත් යන මේ කරුණු පිණිස කෝලියයන්ගේ ලම්බචූලක භටයෝ වෙති.” “ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? කෝලියයන්ගේ ලම්බචූලක භටයන් සීලවන්තද, දුශ්ශීලදැයි ඔබ දන්නෙහිද?” “ස්වාමීනි, මම කෝලියයන්ගේ ලම්බචූලක භටයන් දුශ්ශීල පාපයන් යයි දනිමි. ලෝකයෙහි දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇති යම් කෙනෙක්වේද කෝලියයන්ගේ ලම්බචූලක භටයෝ ඔවුන්ගෙන් එක්තරා කොටසකි.”
ගාමණිය, යමෙක් 'පාටලිය ගාමණිතෙම කෝලියයන්ගේ දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇති ලම්බචූලක භටයන් දනී. පාටලී ගාමණි තෙමේද දුශ්ශීල ලාමක ධර්ම ඇත්තෙකැ'යි මෙසේ කියන්නේ නම් ඔහුගේ කීම හරිදැ'යි ඇසූහ. "ස්වාමීනි, නැත. කෝලියයන්ගේ ලම්බචූලක භටයෝ අන්යයෝය. මම අනිකෙක් වෙමි. කෝලියයන්ගේ ලම්බචූලක භටයෝ අන්ය ස්වභාව ඇත්තාහ. මම අනික් ස්වභාවයක් ඇත්තෙක්මි”. ගාමණිය, ඔබ 'දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාවූ කෝලිය භටයන් පාටලිය ගාමණිතෙම දනියි. පාටලිය ගාමණිතෙම දුශ්ශීල නොවූ ලාමක ස්වභාව නැත්තෙක' යන මෙය ලබන්නෙහි නම් 'තථාගත තෙමේ මායා දනී. තථාගත තෙමේ මායා ඇත්තෙක් නොවේය' යන මෙය කුමක් හෙයින් තථාගතතෙම නොලබන්නේද?
ගාමණිය, මම මායාද දනිමි. මායාවගේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් මායා සහිත පුද්ගලතෙමේ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය මම ප්රාණඝාතයද දනිමි. ප්රාණඝාතයාගේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ප්රාණඝාතක පුද්ගලතෙමේ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද එයද දනිමි. ගාමණිය, මම අදින්නාදානයද දනිමි. අදින්නාදානයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් අදින්නාදානයෙන් යුත් පුද්ගලයා කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම කාමයන්හි වරදවා හැසිරීමත් දනිමි. කාමමිථ්යාචාරයාගේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් කාමමිථ්යාචාරී පුද්ගල තෙමේ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි.
ගාමණිය, මම මුසාවාදයද දනිමි. මුසාවාදයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් මුසාවාදී පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන, නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම කේළාම් කීමද දනිමි. කේළාම් කීමේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් කේළාම් කියන පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම ඵරුෂ වචනයද දනිමි. ඵරුෂ වචනයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ඵරුෂ වචන කියන පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම ප්රලාප කීමද දනිමි. ප්රලාප කීමේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ප්රලාප කියන පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි.
ගාමණිය, මම දැඩි ලෝභයත් දනිමි. දැඩි ලෝභයාගේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් දැඩි ලෝභයාගෙන් යුත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම ව්යාපාද ද්වේෂයත් දනිමි. ව්යාපාද ද්වේෂයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ව්යාපාද ද්වේෂයෙන් යුත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම මිථ්යාදෘෂ්ටියද දනිමි. මිථ්යාදෘෂ්ටියේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් මිථ්යාදෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි.