8. 1. 11.
11. භද්රක සූත්රය
363. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මල්ල ජනපදයන්හි උරුවෙල කප්ප නම් මල්ල රජවරුන්ගේ නියම් ගමෙහි වාසය කරන සේක. එකල්හි භද්රක ගාමණිතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් භද්රක ගාමණිතෙම භාග්යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට දුකට හේතුවද, දුක නැතිකිරීමද, දේශනා කරන්නේ නම් යහපතැයි කීයේය. “ඉදින් ගාමණිය, මම ඔබට අතීත කාලයෙහි මෙසේ වී යයි අතීත කාලය අරබයා දුකට හේතුවද දුක නැති කිරීමද දේශනා කරන්නෙම් නම් එහි ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මම ඔබට අනාගත කාලය අරබයා අනාගත කාලයෙහි මෙසේ වන්නේ යයි දුකට හේතුවත් දුක නැති කිරීමත් ඉදින් දේශනා කරන්නෙම් නම් එහිද ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මෙහි ඉන්නාවූ මම, මෙහි ඉන්නාවූ තොපට දුකට හේතුවද දුක නැති කිරීමද, දේශනා කරන්නෙමි. එය අසව. යහපත් සේ මෙනෙහි කරව. දේශනා කරන්නෙමි”යි වදාළේය. “එසේයයි ස්වාමීනි, භද්රක ගාමණිතෙම භාග්යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිරකිරීමකින් හෝ ධන හානියකින් හෝ නින්දාවකින් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහු නම් එවැනි මනුෂ්යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?” “ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිර කිරීමකින් හෝ ධන හානියකින් හෝ නින්දාවකින් හෝ මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදිත් නම් උරුවෙලකප්පයෙහි මට එබඳු මනුෂ්යයෝ ඇත්තාහුය.” “ගාමණිය, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිර කිරීමකින් හෝ ධන හානියෙන් හෝ නින්දාවකින් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද එබඳු මනුෂ්යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?” “ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදිත්ද, උරුවෙලකප්පයෙහි මට එවැනි මනුෂ්යයෝද ඇත.”
“ගාමණිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද, ඊට හේතුව කවරේද? ප්රත්යය කවරේද? ගාමණිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද, ඊට හේතු කවරේද? ප්රත්යය කවරේද?” “ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද, ඔවුන් කෙරෙහි මගේ ආශාවක් ඇත්තේය. ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහු නම්, ඔවුන් කෙරෙහි මට ආශාවක් නැත්තේය.”
“ගාමණිය, ඔබ දක්නා ලද, ප්රකට කරන ලද, පැමිණෙන ලද, බැස ගන්නා ලද මේ ධර්මයෙන් අතීත, අනාගත දෙකත් දැනගනුව. අතීත අනාගතවූ යම් දුකක් උපදීද ඒ සියල්ලද ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුල්වෙයි. යම් කිසි අනාගත දුකක් උපදින්නේද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයි වදාළ සේක. “ස්වාමීනි, ආශ්චර්යය. ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මේ යම්කිසි අතීත දුකක් උපදීද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයිද; යම්කිසි අනාගත දුකක් උපදින්නේද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයිද වදාළ වචනය ඉතා යහපත් කොට වදාරණ ලදැයි” කීය.