7. 1. 7.
ගෝදත්ත සූත්රය
411. එක් සමයෙක්හි ගෝදත්ත ස්ථවිරයන් වහන්සේ අම්බාටක වනයෙහිවූ මච්ඡිකාසණ්ඩනම් වනලැහැබෙහි වාසය කරණසේක. එකල්හි චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ගෝදත්ත ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ගෝදත්ත තෙරුන් වැඳ එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපතිහට ආයුෂ්මත් ගෝදත්ත ස්ථවිරතෙම මෙසේ කීය:
“ගෘහපතිය, යම් මේ අප්පමාණ චේතෝ විමුක්තියක් වේද යම් ආකිඤ්චඤ්ඤා චේතෝ විමුක්තියක් වේද, යම් සුඤ්ඤාතා චේතෝ විමුක්තියක් වේද යම් අනිමිත්ත චේතෝ විමුක්තියක් වේද මේ ධර්මයෝ වෙන්වූ අර්ථ ඇත්තාහුත් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුත් වෙත් ද? නැතහොත් සමානාර්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ?”
“ස්වාමීනි, යම් කරුණකට පැමිණ මේ ධර්මයෝ නොයෙක් අර්ථ ඇත්තාහුත් නොයෙක් ව්යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් එවැනි ආකාරයක් ඇත්තේය. යම් කරුණකට පැමිණ මේ ධර්මයෝ සමානාර්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් එවැනි ආකාරයක්ද ඇත්තේය.
“ස්වාමීනි, යම් කරුණකට පැමිණ මේ ධර්මයෝ නොයෙක් අර්ථ ඇත්තාහුත් නොයෙක් ව්යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් ඒ ආකාරය කවරේද යත්:
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම මෛත්රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද, එසේම දෙදිසාවක්, තෙදිසාවක්, සතර දිසාවක් මෙසේ උඩ යට සරස සර්වප්රකාරයෙන් සියලු තැන සියලු ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්රමාණවූ වෛර නැත්තාවූ ව්යාපාද නැත්තාවූ මෛත්රී සහගත සිතින් පතුරුවා වාසය කරයිද; කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද, එසේම දෙදිසාවක්, තෙදිසාවක්, සතර දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්රකාරයෙන් සියලු තැන සියලු ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්රමාණවූ වෛර නැත්තාවූ ව්යාපාද නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයිද; මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද, එසේම දෙදිසාවක් තෙදිසාවක්, සතරදිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්රකාරයෙන් සියලු තැන සියලු ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්රමාණවූ වෛර නැත්තාවූ ව්යාපාද නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයිද; උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද, එසේම දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් මෙසේ උඩ යට සරස සර්වප්රකාරයෙන් සියලු තැන සියලු ලෝකය මහත්වූ මහත් බවට ගියාවූ අප්රමාණවූ වෛර නැත්තාවූ ව්යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයිද; ස්වාමීනි, මේ අප්රමාණ චේතෝ විමුක්තියයි කියනු ලැබේ.
“ස්වාමීනි, ආකිඤ්චඤ්ඤා චේතෝ විමුක්තිය කවරේද?
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, ස්වාමීනි, මේ ආකිඤ්චඤ්ඤාචේතෝ විමුක්තියයයි කියනු ලැබේ.
“ස්වාමීනි, සුඤ්ඤතා චේතෝ විමුක්තිය කවරේද?
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්යයකට ගියේ හෝ වෘක්ෂමූලයකට ගියේ හෝ ශුන්යාගාරයකට ගියේ හෝ මේ පඤ්චස්කන්ධය මමය මාගේයයි ගතයුත්තකින් සූන්යයයි මෙසේ මෙනෙහි කරන්නේද ස්වාමීනි, මෙය සුඤ්ඤතා චේතෝ විමුක්තියයි කියනු ලැබේ.
“ස්වාමීනි, අනිමිත්ත චේතෝ විමුක්තිය කවරේද?
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම සියලු රාගාදී නිමිතින් නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට පැමිණ වාසය කරයිද, ස්වාමීනි, මේ අනිමිත්ත චේතෝ සමාධියයි කියනු ලැබේ. “ස්වාමීනි, යම් ආකාරයකට පැමිණ මේ ධර්මයෝ නොයෙක් අර්ථ ඇත්තාහුද, නොයෙක් ව්යඤ්ජන ඇත්තාහුද වෙත් නම්; මේ ඒ ආකාරයයි.
“ස්වාමීනි, යම් ආකාරයකට පැමිණ මේ ධර්මයෝ සමානාර්ථ ඇත්තාහුත්, ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහුත් වෙත් නම් ඒ ආකාරය කවරේද යත්: