1. චිත්ත වර්ගය
7. 1. 1.
1. සංයෝජන සූත්රය
405. එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ජිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කරත්. එකල්හි වනාහි සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්ව හුන්නාවූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර ‘ඇවැත්නි, සංයෝජන සංයෝජනීය ධර්ම යන මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහු, වෙන් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුද නැතහොත් එකම අර්ථ ඇත්තාහු, ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහුද,’යන මේ කථාව පහළ විය.
එහි ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද, මේ ධර්මයෝ නානාර්ථ ඇත්තාහුද, නානාව්යඤ්ජන ඇත්තාහුද, වෙත්යයි’ කියන ලදී. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහු, ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු’ වෙත් යයි කියන ලදී.
එකල්හි වනාහි චිත්ත ගෘහපතිතෙම කිසියම් කටයුත්තක් සඳහා මිගපථක නම් ගමට පැමිණියේය. චිත්ත ගෘහපතිතෙම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්වූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර ‘ඇවැත්නි සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහු, වෙන් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුද, නැතහොත් එකම අර්ථ ඇත්තාහු, ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත්ද’යන මේ අතුරු කථාව පහළවීය; එහිදී ඇතැම් තෙරුන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුද, වෙන් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුද වෙත්යයි’කියන ලදී. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි සංයෝජන නම්වූද, සංයෝජනීය ධර්ම නම්වූද, යන මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහු, ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත්යයි කියන ලදැයි’ ඇසූයේය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ, එක්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම, ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීවේය:
“ස්වාමීනි, සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්ව වැඩ හුන් බොහෝ ස්ථවිර භික්ෂූන් අතර, ‘ඇවැත්නි, සංයෝජන නම්වූද සංයෝජනීය ධර්ම නම් වූද, ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහු, වෙන් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුද, නැතහොත් එකම අර්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත්ද යන මේ අතුරු කථාවක් පහළවිය. එහිදී, ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම්වූද, සංයෝජනීය ධර්ම නම්වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුය. වෙන් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුයයි’ කියන ලදැයි’ද ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් යයිද, කියන ලදැයි මා විසින් අසන ලද්දේයයි’ කීය. "ගෘහපතිය, එසේයයි” භික්ෂූහු කීහ.
“ස්වාමීනි, සංයෝජන නම්වූද, සංයෝජනීය ධර්ම නම් වූද, මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුය. වෙන් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුය. ස්වාමීනි, එහෙයින් ඔබවහන්සේලාට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි ඤාණවන්ත පුරුෂයෝ කියන ලද කාරණයාගේ අර්ථය දැනගනිත්. “ස්වාමීනි යම් කළු ගොනෙක්ද සුදු ගොනෙක්ද එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහු වෙත්ද, යමෙක් කළු ගොනා සුදු ගොනාගේ බැම්මය සුදු ගොනා කළු ගොනාගේ බැම්මය'යි මෙසේ කියන්නේනම් ඔහු මනාව කියන්නේද?” “ගෘහපතිය, එය එසේ නොවේ.
“ගෘහපතිය, කළු ගොනා සුදු ගොනාගේ බැම්ම නොවේ. සුදු ගොනා කළු ගොනාගේ බැම්ම නොවේ. ඔවුහු යම් එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහුද එය එහි බැම්මයි.” “ස්වාමීනි. එසේම ඇස රූපයෙහි සංයෝජනය නොවේ. රූප ඇසේ සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද එය සංයෝජනයයි.
“කන ශබ්දයන්ගේ සංයෝජනය නොවේ. ශබ්ද කනේ සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය සංයෝජනයයි. “නාසය ගන්ධයන්ගේ සංයෝජනය නොවේ. ගන්ධ නාසයේ සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය සංයෝජනයයි. “දිව රසයන්ගේ සංයෝජනය නොවේ. රස දිවෙහි සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය සංයෝජනයයි. “කය ස්පර්ශයන්ගේ සංයෝජන නොවේ. ස්පර්ශ කයේ සංයෝජන නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද එය සංයෝජනයයි. “සිත ධර්මයන්ගේ සංයෝජනය නොවේ. ධර්මය සිතේ සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය එහි සංයෝජනයයි කීය. ‘ගෘහපතිය, ගැඹුරු බුද්ධ වචනයෙහි තොපගේ ප්රඥා චක්ෂුස පැවැත්මෙන් තොපට මහත් ලාභයක් විය. තොප විසින් යහපත් ලාභයක් ලබන ලදැයි’ ඒ භික්ෂූහු කීහ.