7. 1. 8.
8. නිගණ්ඨ සූත්රය
412. එකල්හි වනාහි නිගණ්ඨනාත පුත්රතෙම මහත් නිගණ්ඨ පිරිසක් සමග මච්ඡිකාසණ්ඩයට පැමිණියේය. චිත්ත ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්රතෙම මහත් නිගණ්ඨ පිරිසක් සමග මච්ඡිකාසණ්ඩයට පැමිණියේයයි ඇසුවේය. එකල්හි චිත්ත ගෘහපතිතෙම බොහෝ උපාසක පිරිසක් සමග නිගණ්ඨනාත පුත්ර තෙම යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ නිගණ්ඨනාත පුත්රයා සමග සතුටුවිය. සතුටුවියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිහට නිගණ්ඨනාත පුත්රතෙම ගෘහපතිය ශ්රමණ ගෞතමයන්ගේ අවිතර්ක අවිචාර සමාධියක් ඇත, විතර්ක විචාරයන්ගේ නිරෝධයක් ඇත යන මෙය ඔබ අදහන්නෙහිදැයි” ඇසීය.
“ස්වාමීනි, මම අවිතර්ක අවිචාර සමාධියක් ඇත, විතර්ක විචාරයන්ගේ නිරෝධයක් ඇතැයි භාග්යවතුන් වහන්සේ කෙරෙහි ශ්රද්ධාවෙන් නොඅදහමියි” කීයේය. මෙසේ කී කල්හි නිගණ්ඨනාත පුත්රතෙම සිය පිරිස බලා “පින්වත්හු මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ ඍජුද, මේ චිත්ත ගෘහපතිතෙම කෛරාටික නොවන්නේද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ මායා නැත්තෙක්දැයි බලත්වා. යමෙක් විතර්ක විචාරයන් නිරුද්ධ කළයුතුකොට සිතන්නේ නම් හෙතෙම වාතය දැලෙන් බඳින්නට සිතන්නේය. යමෙක් විතර්ක විචාරයන් නිරුද්ධ කළයුතුකොට සිතන්නේනම් හෙතෙම තම මිටින් ගඩ්ගා ජලය වළක්වන්නට සිතන්නේයයි” කීයේය.
“ස්වාමීනි, ඒ කිමැයි සිතන්නෙහිද? ඤාණය ශ්රද්ධාව යන දෙකින් කවරක් වනාහි අතිශයින් ප්රණීතද?” “ගෘහපතිය ශ්රද්ධාවට වඩා ඤාණය අතිශයින් ප්රණීතය.”
“ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තෙම් නම් කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්රීතිය හා සැප ඇති ප්රථමධ්යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම යම් විටෙක කැමැත්තෙම් නම් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ...පෙ... ද්විතීයධ්යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම යම් විටෙක කැමැත්තෙම් නම් ප්රීතියද දුරු කිරීමෙන් ...පෙ... තෘතීයධ්යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම යම් විටෙක කැමැත්තෙම් නම් සැප දුරු කිරීමෙන්ද ...පෙ...සතරවැනි ධ්යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මම වනාහි අන් කවර ශ්රමණයකු කෙරෙහි හෝ බ්රාහ්මණයකු කෙරෙහි හෝ ශ්රද්ධාවෙන් අවිතර්ක අවිචාර සමාධිය ඇත්තේය. විතර්ක විචාරයන්ගේ නිරෝධය ඇත්තේයයි අදහන්නෙම්ද?”
මෙසේ කී කල්හි නිගණ්ඨනාත පුත්රතෙම සිය පිරිස බලා “පින්වත්හු මේ චිත්ත ගෘහපතිතෙම කොතරම් වංකද, කොපමණ කෛරාටිකද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ මායාකාරයෙක්දැයි බලත්වා.” “ස්වාමීනි, දැන්ම වනාහි අපි ඔබවහන්සේ විසින් ‘පින්වත්හු මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ ඍජුද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ කෛරාටික නොවන්නේද, මේ චිත්ත ගෘහපතිතෙම මායාකාරයෙක් නොවන්නේදැයි’ කියන ලද්ද දනිමු. ස්වාමීනි, දැන්ම අපි ‘පින්වත්හු මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ වංකද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ කෛරාටිකද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ මායා ඇත්තේදැයි කියන ලද්ද’ මෙසේ දනිමු. ස්වාමීනි ඉදින් නුඹවහන්සේ විසින් මුලින් කියන ලද්ද සත්යනම් ඔබ වහන්සේ විසින් පසුව කියන ලද්ද බොරුය. ස්වාමීනි ඉදින් ඔබවහන්සේ විසින් පසුව කියන ලද්ද සත්යනම් පළමුව කියන ලද්ද අසත්යය.