7. 1. 4.
මහක සූත්රය
408. එක් කාලයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ඡිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කෙරෙත්. එකල්හි චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ එක්පසෙක උන්නේය. එකත් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ට, “ස්වාමීනි, තෙරුන් වහන්සේලා සෙට දවස පිණිස මාගේ ගව කුලයෙහි බත ඉවසත්වායි” ආරාධනා කළේය. ස්ථවිර භික්ෂූහු තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගිට, ස්ථවිර භික්ෂූන් වැඳ ගෞරවකොට ගියේය.
ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ රාත්රියාගේ ඇවෑමෙන් උදය වරුවෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන චිත්ත ගෘහපතිහුගේ ගව කුලය යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පණවන ලද අස්නෙහි වැඩහුන්නාහුය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන් ප්රණීතවූ ගිතෙල් සහිත කිරිබතින් සියතින් වැළඳවිය. ඇතැයි ප්රතික්ෂේප කරවීය. ඉක්බිති වළඳා පාත්රයෙන් බැහැර කරන ලද අත් ඇති ස්ථවිර භික්ෂූහු හුන් අස්නෙන් නැගිට ගියාහුය. චිත්ත ගෘහපතිතෙමේද, කිරිබත් අනුභව කරමින් සිට ඉතිරිය ඉවත් කරවයි කියා ස්ථවිර භික්ෂූන් පිටුපසින් ගියේය.
එකල්හි ශරීරය දැවෙන තරම් උෂ්ණය ඉතා අධිකය. ඒ යහපත් ආහාර වැළඳූ ස්ථවිර භික්ෂූහු හැකිලෙමින් යත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ඒ භික්ෂු සංඝයා අතර සියල්ලන්ට බාලවූයේ වේ. එකල්හි ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ආයුෂ්මත් ප්රධාන ස්ථවිරයන්ට, “ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, යම් සීත වාතයක් හමන්නේ නම් වළාකුල් නගින්නේ නම් වැහි පොද එක දෙක වැටෙන්නේ නම් හොඳනේදැයි” කීය. “ඇවැත්නි, මහක සීත වාතයක් හමන්නේනම් වළාකුල් නගින්නේ නම් වැහිපොද එක දෙක වැටෙන්නේ නම් හොඳයයි කීය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවීරතෙමේ යම් සේ සිහිල් වාතය හමන්නේද, වලාකුල් නගින්නේද වැහි පොද එක දෙක වැටෙන්නේද, එවැනි සෘද්ධියක් දැක්වීය.
ඉක්බිති චිත්ත ගෘහපතිහට මේ භික්ෂු සංඝයා අතර යම් මේ සියල්ලන්ට බාලවූ භික්ෂුවක් ඇද්ද ඔහුගේ ඍද්ධි ආනුභාවය මෙබඳුයයි සිත්විය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ආරාමයට පැමිණ ආයුෂ්මත් ප්රධාන ස්ථවිරයන්ට "ස්වාමීනි, ස්ථවිරයෙනි, මෙපමණක් ප්රමාණදැයි” කීය. “ඇවැත් මහකය, මෙපමණක් ප්රමාණය. ඇවැත් මහකය, මෙපමණකින් කරන ලදී. ඇවැත් මහකය, මෙපමණකින් පුදන ලදීය”යි කියන ලදී. ඉක්බිති ස්ථවිර භික්ෂූහු යම් සේ විහාරයන් කරා වැඩියාහුය. ආයුෂ්මත් මහකය තමාගේ වෙහෙරට ගියේය.
ඉක්බිති චිත්ත ගෘහපතිතෙම, ආයුෂ්මත් මහක ස්ථවිරයන් වෙත පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහක ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් මහක ස්ථවිරයන්ට “ස්වාමීනි මහක ආර්යන් වහන්ස, මට මනුෂ්ය ධර්මයන්ට වඩා උතුම් ඍද්ධිප්රාතිහාර්යයක් දක්වන්නේ නම් යහපතැයි” කීයේය. “ගෘහපතිය, ඔබ එසේ වීනම් පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරුවයයි කීය. “ස්වාමීනි, එසේයයි” කියා චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් මහක ස්ථවිරයන්ගේ වචනය පිළිගෙන පිලෙහි උතුරුසළුව දමා ඊපිට තණ මිටියක් විසුරුවේය.
ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම විහාරයට ප්රවිෂ්ටව යතුරු අගුල දමා යම්සේ යතුරු කපල්ලෙන්ද අගුල අතරින්ද ගිනි දැල් නික්ම තෘණ දැවෙන්නේද, උතුරුසළුව නොදැවෙන්නේද, එබඳු ඍද්ධියක් පෑයේය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම උතුරුසළුව ගසා දමා සංවේගයෙන් ලොමු ඩැහැගත්තෙක්ව එක් පසෙක සිටියේය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම විහාරයෙන් නික්ම ‘ගෘහපතිය මෙපමණක් සෑහේදැයි” කීයේය. “ස්වාමීනි, මහක ස්ථවිරයන්වහන්ස, මෙපමණක් සෑහෙයි. ස්වාමීනි මහක ස්ථවිරයන් වහන්ස, මෙපමණකින් කරන ලද්දේ වෙයි. මෙපමණකින් පුදන ලද්දේ වෙයි. ස්වාමීනි, මහක ස්ථවිරයෙනි, ආර්යයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි විසීමට කැමැති වේවා, අම්බාටක වනය සිත්කලුය. මම ආර්යයන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර සැපයීමට උත්සාහ කරන්නෙමි.” “ගෘහපතිය, යහපතක් කියනු ලැබේයයි” කීය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම සෙනසුන හකුලා පා සිවුරුගෙන මච්ඡිකාසණ්ඩයෙන් ගියේය. යම් හෙයකින් මච්ඡිකාසණ්ඩයෙන් ගියේද, එසේ ගියේම විය. ආපසු නැවත නොආයේය.
7. 1. 5.
කාමභූ සූත්රය
409. එක් සමයෙක්හි ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වාසය කරති. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ආයුෂ්මත් කාමභූස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපති හට ආයුෂ්මත් කාමභූ ස්ථවිරතෙම මෙසේ කීය:
“පිරිසිදු අංග ඇත්තාවූ සුදුවැස්මක් ඇත්තාවූ එක් අලවංගුවක් නොහොත් වක් දැත්තක් ඇති රථයක් පවත්නේය. සිඳිනලද ශ්රොතය ඇති බන්ධන රහිතවූ කෙළවරට ගියාවූ දුක් නැත්තහු බලව.”
“ගෘහපතිය, සැකෙවින් කියන ලද මේ ගාථාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුත්තේ දැයි” කීය. “ස්වාමීනි, කිමෙක්ද, මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක්ද?” “ගෘහපතිය, එසේය.” “ස්වාමීනි, එසේනම් මෙහි අර්ථය මෙනෙහි කරන තුරු මොහොතක් ඉවසන සේක්වා.” ඉක්බිති චිත්ත ගෘහපතිතෙම මොහොතක් තුෂ්ණිම්භූතව සිට ආයුෂ්මත් කාමභූ තෙරුන්ට මෙසේ කීය: