7. 1. 5.
කාමභූ සූත්රය
409. එක් සමයෙක්හි ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වාසය කරති. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ආයුෂ්මත් කාමභූස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපති හට ආයුෂ්මත් කාමභූ ස්ථවිරතෙම මෙසේ කීය:
“පිරිසිදු අංග ඇත්තාවූ සුදුවැස්මක් ඇත්තාවූ එක් අලවංගුවක් නොහොත් වක් දැත්තක් ඇති රථයක් පවත්නේය. සිඳිනලද ශ්රොතය ඇති බන්ධන රහිතවූ කෙළවරට ගියාවූ දුක් නැත්තහු බලව.”
“ගෘහපතිය, සැකෙවින් කියන ලද මේ ගාථාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුත්තේ දැයි” කීය. “ස්වාමීනි, කිමෙක්ද, මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක්ද?” “ගෘහපතිය, එසේය.” “ස්වාමීනි, එසේනම් මෙහි අර්ථය මෙනෙහි කරන තුරු මොහොතක් ඉවසන සේක්වා.” ඉක්බිති චිත්ත ගෘහපතිතෙම මොහොතක් තුෂ්ණිම්භූතව සිට ආයුෂ්මත් කාමභූ තෙරුන්ට මෙසේ කීය:
“ස්වාමීනි, පිරිසිදු අංග යන මෙය සීලයන්ට නමකි. සුදු වැස්ම යන මෙය අර්හත් ඵලයට නමකි. ස්වාමීනි, අලවංගුව නොහොත් දැත්ත යන මෙය සිහියට නමකි. ස්වාමීනි, පැවැත්ම යන මෙය ඉදිරියට යාම ආපසු ඒම යන මීට නමකි. ස්වාමීනි, රථය යන මෙය මව්පියන්ගෙන් උපන්, බත් කොමුපිඬු වලින් වැඩුණු, නිතර ඉලීම් පිරිමැදීම් හේතුවෙනු දු බිඳෙන වැනසෙන ස්වභාවය ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරයට නමකි. ස්වාමීනි, රාගය දුකකි. ද්වේෂය දුකකි. මෝහය දුකකි. ඒ රාග ද්වේෂ මෝහයෝ ක්ෂිණාශ්රව භික්ෂුවට ප්රහීණ වූවාහුය. සිඳින ලද මුල් ඇත්තාහුය. (මුදුන සිඳිනලද) තල් ගසක් මෙන් කරන ලද්දාහ. අභාවයට පමුණුවන ලද්දාහ. නැවත නූපදින තත්ත්වයට පමුණුවන ලද්දාහ. එසේ හෙයින් ක්ෂීණාශ්රව භික්ෂුවට දුක් නැත්තේයයි කියනු ලැබේ. ස්වාමීනි, කෙළවරට ගිය යනු රහතන් වහන්සේට නමකි. ස්වාමීනි ශ්රොතය යනු තෘෂ්ණාවට මෙය නමකි. ඒ තෘෂ්ණාව ක්ෂීණාශ්රව භික්ෂුව විසින් ප්රහීණ කරණ ලද්දීය. සිඳින ලද මුල් ඇත්තීය. කරටිය සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දීය. අභාවයට යවන ලද්දීය. මතු නූපදින ස්වභාවයට පමුණුවන ලද්දීය. එසේ හෙයින් ක්ෂීණාශ්රව භික්ෂුව සිඳින ලද ශ්රොතය ඇත්තේයයි කියනු ලැබේ. “ස්වාමීනි, රාගය වනාහි බන්ධනයකි. ද්වේෂය බන්ධනයකි. මෝහය බන්ධනයකි. ඒ රාග ද්වේෂ මෝහයෝ ක්ෂීණාශ්රව භික්ෂුව විසින් ප්රහීණ කරන ලද්දාහ. සිඳිනලද මුල් ඇත්තාහ. තල් ගසක් මෙන් කරන ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දාහ. එනිසා ක්ෂීණාශ්රව භික්ෂුවට බන්ධන රහිතයයි කියනු ලැබේ. ඉතින් ස්වාමීනි, යම් හෙයකින් භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද්දේද:
“පිරිසිදු අංග ඇත්තාවූ සුදු වැස්මක් ඇත්තාවූ එක් අලවංගුව නොහොත් දැත්තක් ඇත්තාවූ රථයක් පවතියි සිඳින ලද ශ්රොතය ඇත්තාවූ බන්ධන රහිතවූ කෙළවරට ගියාවූ දුක් නැති යහු බලව”
යන යමක් වදාරණ ලද්දේද, ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ සංක්ෂේපයෙන් වදාරන ලද්දේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දනිමියි” කීය. “ගෘහපතිය, මෙබඳු තොපගේ ප්රඥාචක්ෂුස ගැඹුරු බුද්ධ වචනයෙහි ගමන් කෙරේද, එය තොපට ලාභයකි. ගෘහපතිය තොප විසින් යහපත් ලැබීමකි”යි කීය.
7. 1. 6.
දුතියකාමභූ සූත්රය
410. එක් කලෙක ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේ අම්බාටක වනයෙහිවූ මච්ඡිකා සණ්ඩනම් වන ලැහැබෙහි වාසය කරති. එකල්හි චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ කාමභූ ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන් “ස්වාමීනි, සංස්කාරයෝ කෙතෙක්දැයි” ඇසීය. “ගෘහපතිය, කාය සංස්කාරය, වචී සංස්කාරය, චිත්ත සංස්කාරයයි සංස්කාර තිදෙනෙකි.” “ස්වාමීනි, යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ තෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, “ස්වාමීනි, කාය සංස්කාරය කවරේද, වචී සංස්කාරය කවරේද, චිත්ත සංස්කාරය කවරේදැයි” තවත් ප්රශ්නයක් ඇසීය. “ගෘහපතිය, ආශ්වාස ප්රශ්වාසය වනාහි කාය සංස්කාර ය. විතර්ක විචාරය වචී සංස්කාර ය. සංඥාවද වේදනාවද චිත්ත සංස්කාර ය"යි කීයේය. “ස්වාමීනි, යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ තෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන් උත්තරීතර ප්රශ්නයක් විචාළේය: