7. 1. 3.
3. දුතිය ඉසිදත්ත සූත්රය
407. එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ජිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කෙරෙත්. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්ෂූන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ට ‘ස්වාමීනි, තෙරුන් වහන්සේලා හෙට දවස පිණිස මගේ බත ඉවසත්වායි කීයේය. ස්ථවිර භික්ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ගේ ඉවසීම දැන හුන් අස්නෙන් නැගිට, ස්ථවිර භික්ෂූන් වැඳ ගෞරවකොට ගියේය.
ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ රාත්රියාගේ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන චිත්ත ගෘහපතීහුගේ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ පණවනලද අස්නෙහි වැඩසිටියාහුය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ස්ථවිරයන්ට මෙසේ කීයේය:
‘ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, යම් මේ නානාප්රකාර දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්ද, ලෝකය ශාස්වතය කියාද, ලෝකය අශාස්වතය කියාද, ලෝකය අන්තයක් ඇත්තේය කියාද, ලෝකය අන්තයක් නැත්තේය කියාද, එයම ජීවය වෙයි. එයම ශරීරය වෙයි. කියාද, අනිකක් ජීවය වෙයි, අනිකක් ශරීරය වෙයි කියාද, සත්වයා මරණින් මතු වන්නේය කියාද, සත්වයා මරණින් මතු නොවන්නේය කියාද, සත්වයා මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවෙයි. නොවන්නේත් නොවෙයි කියාද, බ්රහ්මජාල සූත්රයෙහි වදාරණ ලද යම් මේ දෙසැට දෘෂ්ටි කෙනෙක් ඇද්ද, ස්වාමීනි, මේ දෘෂ්ටීහු කුමක් ඇති කල්හි වෙත්ද, කුමක් නැති කල්හි නොවෙත්දැයි,” මෙසේ කීයේය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ස්ථවිරතෙමේ නිශ්ශබ්ද විය. දෙවනුවත් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ස්ථවිරයන්ට ‘ස්වාමීනි ස්ථවිරයන් වහන්ස, යම් මේ නානාප්රකාර දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්ද ලෝකය ශාස්වතය කියාද, ලෝකය අශාස්වතය කියාද, ලෝකය අන්තයක් ඇත්තේය කියාද, ලෝකය අන්තයක් නැත්තේය කියාද, එයම ජීවය වෙයි. එයම ශරීරය වෙයි කියාද, අනිකක් ජීවය වෙයි, අනිකක් ශරීරයවෙයි කියාද, සත්වයා මරණින් මතු වන්නේය කියාද, සත්වයා මරණින් මතු නොවන්නේය කියාද, සත්වයා මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියාද, බ්රහ්මජාල සූත්රයෙහි වදාරණලද යම් මේ දෙසැට දෘෂ්ටි කෙනෙක් ඇද්ද, ස්වාමීනි, මේ දෘෂ්ටීහු කුමක් ඇතිකල්හි වෙත්ද, කුමක් නැතිකල්හි නොවෙත්දැයි” මෙසේ කීයේය. දෙවනුවත් ආයුෂ්මත් ස්ථවිරතෙම නිශ්ශබ්ද විය. තුන්වෙනුවත් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ස්ථවිරයන්ට “ස්වාමීනි ස්ථවිරයන් වහන්ස, ලෝකයෙහි යම් මේ අනේකප්රකාර දෘෂ්ටීහු උපදිත්ද, ... කුමක් නැති කල්හි නොවෙත්දැයි” මෙය කීයේය. තුන්වෙනුවත් ආයුෂ්මත් ස්ථවිරතෙමේ නිශ්ශබ්ද විය.
එකල්හි වනාහි ආයුෂ්මත් ඉසිදත්ත තෙමේ ඒ භික්ෂු සංඝයා කෙරෙහි සියල්ලන්ට බාල වූයේ වෙයි. එකල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙමේ ආයුෂ්මත් ස්ථවිරයන්ට “ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, චිත්ත ගෘහපතිහුගේ මේ ප්රශ්නය මම ප්රකාශ කරන්නෙමියි” කීයේය. “ඇවැත්නි, ඉසිදත්තය, චිත්ත ගෘහපතීහුගේ මේ ප්රශ්නය ඔබ ප්රකාශ කරව,” “ගෘහපතිය, ස්වාමීනි ස්ථවිරයන් වහන්ස, යම් මේ නානාප්රකාර දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ... කුමක් නැතිකල්හි නොවෙත්දැයි විචාළෙහිද?” “ස්වාමීනි, එසේය.”
“ගෘහපතිය, ලෝකයෙහි මේ නොයෙක් දෘෂ්ටීහු වෙත්ද; ලෝකය ශාස්වතය කියාද, ලෝකය අශාස්වතය කියාද, ලෝකය කෙළවරක් ඇත්තේය කියාද, ලෝකය කෙළවරක් නැත්තේය කියාද, එයම ජීවය වෙයි. එයම ශරීරය වෙයි කියාද, ජීවය අනිකකි. ශරීරය අනිකකි කියාද සත්වයා මරණින් මතු වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවෙයි කියාද, සත්වයා මරණින්මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවේ නොවන්නේද නොවේ කියාද, බ්රහ්මජාල සූත්රයෙහි වදාරණලද යම් මේ දෙසැට දෘෂ්ටි කෙනෙක් ඇද්ද ගෘහපතිය, මේ දෘෂ්ටීහු සක්කාය දෘෂ්ටිය ඇති කල්හි වෙත්. සක්කාය දෘෂ්ටිය නැති කල්හි නොවෙත්යයි කීය.
“ස්වාමීනි, කෙසේ නම් සක්කාය දෘෂ්ටිය වේද?” “ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්යයන් නොදක්නාවූ ආර්යධර්මයෙහි අදක්ෂවූ, ආර්යධර්මයෙහි නොහික්මුණු, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු අශ්රැතවත් පෘථග්ජනතෙම රූපය ආත්මයයි දකීද, රූ ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි රූපය ඇතැයි කියා හෝ රූපයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, වේදනාව ආත්මයයි දකීද, වේදනා ඇතියහු ආත්මය කියා හෝ ආත්මයෙහි වේදනාව ඇතැයි කියා හෝ වේදනාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, සංඥාව ආත්මයයි දකීද, සංඥා ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි සංඥාව ඇතැයි කියා හෝ සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, සංස්කාරය ආත්මයයි දකීද, සංස්කාර ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි සංස්කාර ඇතැයි කියා හෝ සංස්කාරයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, විඤ්ඤාණය ආත්මයයි දකීද, විඤ්ඤාණය ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි විඤ්ඤාණය ඇතැයි කියා හෝ විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකීද, ගෘහපතිය, මෙසේ සක්කාය දෘෂ්ටිය වේ.