6. 1. 16.
සත්වන සක්ක සූත්‍රය
363. ඉක්බිති සක්දෙව් රජතෙම පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි සක්දෙව් රජුට මහමුගලන් තෙරණුවෝ මෙසේ කීය.
දේවේන්ද්‍රය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ ...පෙ... ශාස්තෲවරය, බුද්ධය, භාග්‍යවත්ය’යි. දේවේන්ද්‍රය, මෙසේ බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, ...පෙ... දිව්‍ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්. දේවේන්ද්‍රය, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ ...පෙ... දේවේන්ද්‍රය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති ...පෙ...
දේවේන්ද්‍රය, කඩතොලු නොවූ ...පෙ... සමාධිය පිණිස පවත්නාවූ, ආර්යයන් විසින් කැමැති වන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත්වේ. දේවේන්ද්‍රය, මෙසේ ආර්යයන් කැමැති වන්නාවූ ශීලයෙන් සමන්විතවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දශවිධ කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.
නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ ...පෙ... ශාස්තෲවරය, බුද්ධය, භාග්‍යවත්ය’යි. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද ...පෙ... දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.
නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී ...පෙ... නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුතුය’යි. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද ...පෙ... දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කාරණයකින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.
නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සෘජුව පිළිපන්නේය ...පෙ... ලෝකයාගේ නිරුත්තර පින්කෙතය’යි. නිදුකාණෙනි, මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද ...පෙ... දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.