6. මොග්ගල්ලාන සංයුත්තය
6. 1. 1.
සවිතක්ක සූත්රය
348. එක් කාලයෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු මහසිටාණන්ගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ‘ඇවැත්නි, මහණෙනි’යි කියා භික්ෂූන්ට ආමන්ත්රණය කළසේක. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි “ආයුෂ්මත් මහාමුගලන් තෙරුන්ට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම, මෙසේ වදාළසේක: ඇවැත්නි, මෙහි රහසිගතවූ හුදකලාවූ මට මෙසේ සිතට විතර්කයක් පහළවිය. “ප්රථමධ්යානය ප්රථමධ්යානයයි කියනු ලැබේ. ප්රථම ධ්යානය කවරේද? කියායි. ඇවැත්නි, ඒ මට මේ සිත විය. මහණ, මේ ශාසනයෙහි කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැප ඇති ප්රථමධ්යානයට පැමිණ වාසය කරයිද? මේ ප්රථමධ්යානයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම වනාහි කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්රීතිය හා සැපය ඇති ප්රථමධ්යානයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ මාහට කාම සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළවෙති.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ, මෙසේ වදාළසේක: “මොග්ගල්ලානය මොග්ගල්ලානය බ්රාහ්මණය, ප්රථමධ්යානයෙහි ප්රමාද නොවව. ප්රථමධ්යානයෙහි සිත පිහිටුව, ප්රථමධ්යානයෙහි සිත එකඟ කරව, ප්රථමධ්යානයෙහි සිත තබාගනුව කියායි. “ඇවැත්නි, ඒ මම පසුව කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්රීතිය හා සැප ඇති ප්රථමධ්යානයට පැමිණ වාසය කෙළෙමි. ඇවැත්නි, යමෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරනලද ශ්රාවකයෙක් මහත් නුවණැති බවට පැමිණියේයයි මනාකොට කියන්නේ නම් ශාස්තෲන්වහන්සේ විසින් අනුග්රහ කරනලද ශ්රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසාම මනාකොට කියන්නේය.”
6. 1. 2.
අවිතක්ක සූත්රය
349. “ද්විතීයධ්යානය ද්විතීයධ්යානයයි කියනු ලැබේ. ද්විතීයධ්යානය කවරේද? “ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය: මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳ වීමෙන් අධ්යාත්මයෙහි පැහැදීම් ඇති සිත හා එකඟ කරන්නාවූ විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන් ප්රීතිය හා සැප ඇති ද්විතීයධ්යානයට පැමිණ වාසය කෙරේද, මේ ද්විතීයධ්යානයයි’‘ කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් අධ්යාත්මයෙහි පැහැදීම් ඇති සිතේ එකඟ බව ඇති විතර්කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ප්රීතිය හා සැප ඇති ද්විතීයධ්යානයට පැමිණ වාසය කරමි. “මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට විතර්ක සහිතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මෙසේ වදාළසේක: “මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්රාහ්මණය, ද්විතීයධ්යානයෙහි ප්රමාද නොවව. ද්විතීයධ්යානයෙහි සිත පිහිටව. ද්විතීයධ්යානයෙහි සිත එකඟ කරව. ද්විතීයධ්යානයෙහි සිත තබව කියායි. ඇවැත්නි, පසුව ඒ මම විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් අධ්යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්ක නැති විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැප ඇති ද්විතීයධ්යානයට පැමිණ වාසය කෙළෙමි. “ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
6. 1. 3.
සුඛ සූත්රය
350. “තෘතීයධ්යානය තෘතීයධ්යානයයයි කියනු ලැබේ. තෘතීයධ්යානය කවරේද? “ඇවැත්නි, ඒ මට මෙසේ සිත් විය: ‘මේ ශාසනයෙහි මහණතෙම ප්රීතියෙන් වෙන්ව උපේක්ෂාවෙන් යුක්තවූයේ වාසය කරයිද, සිහි ඇත්තේ සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ කයින් සැපය විඳියිද, යමෙකුට උපේක්ෂා සිහි ඇත්තේ සැපසේ වාසය කෙරේයයි ආර්යයෝ කියත් නම් ඒ තෘතීයධ්යානයට පැමිණ වාසය කරයිද, මේ තෘතීයධ්යානයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම ප්රීතියෙන් වෙන්වීමෙන් උපේක්ෂාවෙන් යුක්තව වාසය කරමි. සිහියෙන් හා ප්රඥාවෙන් යුක්තවූ කයින් සැපය විඳිමි. උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප සේ වාසය කෙරේයයි යමෙකුට ආර්යයෝ කියත් නම් ඒ තෘතීයධ්යානයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, ඒ විහරණයෙන් වාසය කරන්නාවූ මට ප්රීති සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළ වෙති.