6. 1. 13.
චතුත්ථ සක්ක සූත්‍රය
360. ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙම දේවතාවන් හය සියයක් සමඟ -පෙ- ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙම දේවතාවන් හත් සියයක් සමඟ -පෙ- ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙම දේවතාවන් අට සියයක් සමඟ -පෙ- ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙම දේවතාවන් අසූ දහසක් සමඟ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සක්දෙව් රජහට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ:
දේවානමින්දය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ, ‘ඉතිපි සෝ භගවා’ යනාදීන් පටන් ‘සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ දක්වායි. දේවානමින්දය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. දේවානමින්දය, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ, ‘ස්වාක්ඛාතො’ යනාදීන් පටන් ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී’ දක්වායි. දේවානමින්දය, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දේවානමින්දය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ, ‘සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ යනාදීන් පටන් ‘අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ දක්වායි. දේවානමින්දය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දේවානමින්දය, ආර්යයන් කැමති වන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත් වේ, ඛණ්ඩ නොවූ යනාදීන් පටන් සමාධිය පිණිස පවත්නාවූ දක්වායි. දේවානමින්දය, ආර්යයන් කැමති වන්නාවූ ශීලයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙලොව ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
නිදුකාණෙනි, මොග්ගල්ලානය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ “ඉතිපි සෝ භගවා” යනාදීන් පටන් “සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා” දක්වායි. නිදුකාණෙනි මොග්ගල්ලානය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. “ස්වාක්ඛාතො” යනාදීන් පටන් “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී” දක්වායි. නිදුකාණෙනි මොග්ගල්ලානය, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ, “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො” යනාදීන් පටන් “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා” දක්වායි. නිදුකාණෙනි මොග්ගල්ලානය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, ආර්යයන් කැමති වන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත් වේ, ඛණ්ඩ නොවූ යනාදීන් පටන් සමාධිය පිණිස පවත්නාවූ දක්වායි. නිදුකාණෙනි මොග්ගල්ලානය, ආර්යයන් කැමති වන්නාවූ ශීලයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙලොව ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
6. 1. 14.
පඤ්චම සක්ක සූත්‍රය
361. ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙම පන්සියයක් දේවතාවන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය -පෙ- එකත්පසෙක සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක: දේවානමින්දය, බුදුන් සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ බුදුන් සරණ යාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්‍ය දෙවියන් අභිබවා යති: දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය ආධිපත්‍යයෙන්, දිව්‍ය රූපවලින්, දිව්‍ය ශබ්දවලින්, දිව්‍ය ගන්ධයන්ගෙන්, දිව්‍ය රසයන්ගෙන්, දිව්‍ය ස්පර්ශයන්ගෙන්.
දේවානමින්දය, ධර්මය සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්‍ය දෙවියන් අභිබවා යති: දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය ආධිපත්‍යයෙන්, දිව්‍ය රූපවලින්, දිව්‍ය ශබ්දවලින්, දිව්‍ය ගන්ධයන්ගෙන්, දිව්‍ය රසයන්ගෙන්, දිව්‍ය ස්පර්ශයන්ගෙන්.
දේවානමින්දය, සංඝයා සරණ යාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්‍ය දෙවියන් අභිබවා යති: දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය ආධිපත්‍යයෙන්, දිව්‍ය රූපවලින්, දිව්‍ය ශබ්දවලින්, දිව්‍ය ගන්ධයන්ගෙන්, දිව්‍ය රසයන්ගෙන්, දිව්‍ය ස්පර්ශයන්ගෙන්.
නිදුකාණෙනි, මොග්ගල්ලානය, බුදුන් සරණයාම යහපත් වේ. නිදුකාණෙනි මොග්ගල්ලානය, මෙසේ බුදුන් සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්‍ය දෙවියන් අභිබවා යති: දිව්‍ය ආයුෂයෙන් -පෙ- දිව්‍ය ස්පර්ශයන්ගෙන්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, ධර්මය සරණයාම යහපත්වේ -පෙ- නිදුකාණෙනි, මොග්ගල්ලානය, සංඝයා සරණයාම යහපත් වෙයි. නිදුකාණෙනි, මොග්ගල්ලානය, මෙසේ සංඝයා සරණයාම හේතු කොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්‍ය දෙවියන් අභිබවා යති: දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය ආධිපත්‍යයෙන්, දිව්‍ය රූපවලින්, දිව්‍ය ශබ්දවලින්, දිව්‍ය ගන්ධයන්ගෙන්, දිව්‍ය රසයන්ගෙන්, දිව්‍ය ස්පර්ශයන්ගෙන්.