3. 3. 8.
ඨාන සූත්‍රය
313. “මහණෙනි, නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් මේ කරුණු පසක් දුකසේ ලැබිය යුත්තාහ. මහණෙනි, කවර පසක්ද යත්; සුදුසු කුලයක උපදින්නෙමියි යන මෙය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභවූ පළමුවෙනි කරුණවෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි යන මෙය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ දෙවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වාසය කරන්නෙමි යන මේ කාරණය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ තුන්වෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක් වන්නෙමි යන මෙය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ සතරවන කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක්ව ස්වාමියා මැඩපවත්වා පවතින්නෙමියි යන මෙය නොකළ පින් ඇත් ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභවූ පස්වෙනි කාරණය වෙයි. මහණෙනි, මේ කරුණු පස නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ කරුණු පසවෙත්."
"මහණෙනි, කරනලද පින් ඇති ස්ත්‍රිය විසින් පහසුවෙන් ලැබිය හැකි මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්; මහණෙනි සුදුසු කුලයක උපදින්නෙමි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි පළමුවෙනි කරුණ වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි දෙවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි තුන්වෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක් වන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි සතරවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක්ව ස්වාමියා මැඩපවත්වා වසන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි පස්වෙනි කරුණ වෙයි. මහණෙනි, මේ කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි කරුණු පස වෙත්.”
3. 3. 9.
විසාරදවාස සූත්‍රය
314. “මහණෙනි, කරුණු පසකින් යුක්ත ස්ත්‍රිය නිර්භීතව ගෙයි වාසය කරයි. කවර කරුණු පසකින්ද යත්; සතුන් මැරීමෙන් වැළකුනියක් වේද, නුදුන් දෙය ගැනීමෙන් වැළකුනියක්වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනියක් වේද, බොරු කීමෙන් වැළකුනියක් වේද, රහමෙර පානයෙන් වැළකුනියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ගෘහයෙහි නිර්භීතව වාසය කෙරේයයි” වදාළ සේක.
3. 3. 10.
වඩ්ඪී සූත්‍රය
315. “මහණෙනි, මේ කරුණු පසකින් වැඩෙන ආර්ය ශ්‍රාවිකා තොමෝ ආර්ය වැඩීමෙන් වැඩෙයි. ජීවිතයේ සාරය ගන්නියක් වෙයි. උතුම් දෙය ගන්නියක් වෙයි. කවර පසකින්ද යත්; ශ්‍රද්ධාවෙන් වැඩෙයිද, සීලයෙන් වැඩෙයිද, ශ්‍රැතයෙන් (අසා දැනීමෙන්) වැඩෙයිද, ත්‍යාගයෙන් වැඩෙයිද, ප්‍රඥාවෙන් වැඩෙයිද, මහණෙනි, මේ වැඩීම් පසින් වැඩෙන්නාවූ ආර්යශ්රාවිකා තොමෝ ආර්ය වැඩීමෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නියක් වෙයි. උතුම් දෙය ගන්නියක් වෙයි.
“මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් ශ්‍රද්ධාවෙන්ද, සීලයෙන්ද, ප්‍රඥාවෙන්ද වැඩේ ද ත්‍යාග, ශ්‍රැත (අසාදැනීමෙන්) දෙකිනුත් වැඩේ ද, එවැනි සිල්වත් උපාසිකා තොමෝ මෙලොවදීම තමන්ගේ ජීවිතයේ සාරය ගනියි."
බලවග්ගො තතියො.
තත්රුද්දානං:
සුද්ධ, විසාරද, පසය්හ, අභිභූය්‍ය, පස්වන අංග, නාසිතබ්බ, හේතු, ඨාන, විසාරද හා දසවන වඩ්ඪි සූත්‍රයයි.
මාතුගාම සංයුත්තය සමාප්තයි.