3. 3. 9.
විසාරදවාස සූත්‍රය
314. “මහණෙනි, කරුණු පසකින් යුක්ත ස්ත්‍රිය නිර්භීතව ගෙයි වාසය කරයි. කවර කරුණු පසකින්ද යත්; සතුන් මැරීමෙන් වැළකුනියක් වේද, නුදුන් දෙය ගැනීමෙන් වැළකුනියක්වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනියක් වේද, බොරු කීමෙන් වැළකුනියක් වේද, රහමෙර පානයෙන් වැළකුනියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ගෘහයෙහි නිර්භීතව වාසය කෙරේයයි” වදාළ සේක.
3. 3. 10.
වඩ්ඪී සූත්‍රය
315. “මහණෙනි, මේ කරුණු පසකින් වැඩෙන ආර්ය ශ්‍රාවිකා තොමෝ ආර්ය වැඩීමෙන් වැඩෙයි. ජීවිතයේ සාරය ගන්නියක් වෙයි. උතුම් දෙය ගන්නියක් වෙයි. කවර පසකින්ද යත්; ශ්‍රද්ධාවෙන් වැඩෙයිද, සීලයෙන් වැඩෙයිද, ශ්‍රැතයෙන් (අසා දැනීමෙන්) වැඩෙයිද, ත්‍යාගයෙන් වැඩෙයිද, ප්‍රඥාවෙන් වැඩෙයිද, මහණෙනි, මේ වැඩීම් පසින් වැඩෙන්නාවූ ආර්යශ්‍රාවිකා තොමෝ ආර්ය වැඩීමෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නියක් වෙයි. උතුම් දෙය ගන්නියක් වෙයි.
“මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් ශ්‍රද්ධාවෙන්ද, සීලයෙන්ද, ප්‍රඥාවෙන්ද වැඩේ ද ත්‍යාග, ශ්‍රැත (අසාදැනීමෙන්) දෙකිනුත් වැඩේ ද, එවැනි සිල්වත් උපාසිකා තොමෝ මෙලොවදීම තමන්ගේ ජීවිතයේ සාරය ගනියි."
බලවග්ගො තතියො.
තත්රුද්දානං:
සුද්ධ, විසාරද, පසය්හ, අභිභූය්‍ය, පස්වන අංග, නාසිතබ්බ, හේතු, ඨාන, විසාරද හා දසවන වඩ්ඪි සූත්‍රයයි.
මාතුගාම සංයුත්තය සමාප්තයි.
4. ජම්බුඛාදක සංයුත්තය
4. 1. 1.
නිබ්බාන සූත්‍රය
316. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කෙරෙති. එකල්හි ජම්බුඛාදක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ජම්බුඛාදක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළකෙළේය: “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, නිර්වාණය නිර්වාණයයි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් නිර්වාණය වේද” යනුයි.
“ඇවැත්නි, රාගය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, ද්වේෂය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, මෝහය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, මේ නිර්වාණයයි කියනු ලැබේ. “ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.” “ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නාවූ මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?” “ඇවැත්නි, මේ අංග අටකින් යුත් ආර්යමාර්ගයම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වන්නේය. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොවුහුය, ඇවැත්නි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නේය. “ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරීපුත්‍රය අප්‍රමාදයට සුදුසුය.”
4. 1. 2.
අරහත්ත සූත්‍රය
317. “ඇවැත් ශාරිපුත්‍රය, රහත් බව රහත් බවයයි කියනු ලැබේ ඇවැත්නි, රහත් බව නම් කවරේද?” “ඇවැත්නි, යම් රාගය ක්ෂය කිරීමක් වේද, ද්වේෂය ක්ෂය කිරීමක් වේද, මෝහය ක්ෂය කිරීමක් වේද, මේ රහත් බවයයි කියනු ලැබේ.” “ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.” “ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට ඇති මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?” “ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ අංග අටක් ඇති ආර්ය මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොවුහුයි. ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.” “ඇවැත්නි, රහත් බව ප්‍රත්‍යක්ෂකිරීම පිණිස මෙය යහපත් මාර්ගයයි. යහපත් ප්‍රතිපදාවකි. “ඇවැත් ශාරිපුත්‍රය, මෙය අප්‍රමාදය පිණිස සුදුසු ද වේ.”