3.මාතුගාම සංයුත්තය
1. මාතුගාම වර්ගය
3. 1. 1.
මාතුගාම සූත්රය
280. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ත්රිය පුරුෂයාට ඒකාන්තයෙන් අමනාපවේ. කවර කරුණු පසකින්දයත්, රූමත් නොවේද? ධනවත් නොවේද? සිල්වත් නොවේද? අලස වෙයිද? දරුවන් නොලබයිද? මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්රිය පුරුෂයාට ඒකාන්තයෙන් අමනාප වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ත්රිය පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වේ. කවර පසකින්ද යත් රූමත් වේද, ධනවත් වේද, සිල්වත් වේද, අලස නොවූයේ දක්ෂ වේද, දරුවන් ලබයිද, මහණෙනි, මේ අංග පසින් යුක්තවූ ස්ත්රිය පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වේ.
3. 1. 2.
පුරිස සූත්රය
281. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පුරුෂයා ස්ත්රියට ඒකාන්තයෙන් අමනාප වේ. කවර පසකින්දයත්, රූමත් නොවේද, ධනවත් නොවේද, දුස්සීලද, අලසද, දරුවන් නොලබාද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ පුරුෂතෙම ස්ත්රියට ඒකාන්තයෙන් අමනාප වේ.
“මහණෙනි කරුණු පසකින් යුක්තවූ පුරුෂතෙම ස්ත්රියට ඒකාන්තයෙන් මනාප වේ. කවර පසකින්ද යත්, රූමත් වේද, ධනවත් වේද, සිල්වත් වේද, අලස නොවූයේ දක්ෂවේද, දරුවන් ලබාද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ පුරුෂතෙම ස්ත්රියට ඒකාන්තයෙන් මනාප වේ.
3. 1. 3.
ආවේණික දුක්ඛ සූත්රය
282. “මහණෙනි, පුරුෂයන් හැර ස්ත්රියටම සාධාරණවූ ස්ත්රියම විඳින්නාවූ මේ දුක් පසක් වෙයි. කවර පසක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ස්ත්රිය ළාබාල කාලයෙහිම ස්වාමිකුලයට යයි. නෑයින්ගෙන් වෙන් වෙයි. මහණෙනි, පුරුෂයන් හැර ස්ත්රියටම සාධාරණවූ මේ පළමුවැනි දුක ස්ත්රිය විඳියි. තවද මහණෙනි, ස්ත්රිය ඍතුනියක් වෙයි. මහණෙනි, මේ ස්ත්රියටම සාධාරණවූ දෙවෙනි දුක පුරුෂයන් හැර ස්ත්රියම විඳියි.
තවද, මහණෙනි, ස්ත්රිය ගර්භනී වෙයි. මහණෙනි, මේ ස්ත්රියටම සාධාරණවූ තුන් වැනි දුක පුරුෂයන් හැර ස්ත්රියම විඳියි. තවද මහණෙනි, ස්ත්රිය දරුවන් වදයි. මහණෙනි, මේ ස්ත්රියටම සාධාරණවූ සතරවැනි දුක පුරුෂයන් හැර ස්ත්රියම විඳියි. තවද මහණෙනි, ස්ත්රිය පුරුෂයාට උපස්ථාන කරන්නියක් බවට පැමිණෙයි. මහණෙනි, මේ ස්ත්රියටම සාධාරණවූ පස්වැනි දුක පුරුෂයන් හැර ස්ත්රියම අනුභව කරයි.”
3. 1. 4.
තීහි ධම්මෙහි සූත්රය
283. “මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ ස්ත්රිය බොහෝ සෙයින් කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදියි. කවර තුනකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ස්ත්රිය පෙරවරු කාලයෙහි මසුරු මළින් යුත් සිතින් ගෙයි වාසයකරයිද මැදි දවල් කාලයෙහි ඊර්ෂ්යාවෙන් යුත් සිතින් ගෙයි වාසය කරයිද, සවස් කාලයෙහි කාම රාගයෙන් යුත් සිතින් ගෙයි වාසය කරයිද, මේ අංග තුනින් යුක්තවූ ස්ත්රිය බොහෝ සෙයින් කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර, දුර්ගතිවූ විසමව පතිතවන නිරයේ උපදී”.
3. 1. 5.
අනුරුද්ධ සූත්රය
284. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවැ’සින් මේ ලෝකයෙහි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර නපුරු ගති ඇති, විසමව වැටෙන නරකයෙහි උපදින ස්ත්රියක් දකිමි. ස්වාමීනි, කෙතෙක් ධර්මයන්ගෙන් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදින්නේද”?
“අනුරුද්ධය, කරුණු පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී. කවර පසකින්ද යත්, ශ්රද්ධාව නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ක්රෝධ කරන්නියක් වේද, නුවණ නැත්තියක් වේද, අනුරුද්ධය මේ ධර්ම පසින් යුක්තවූ නපුරු ගති ඇති ස්ත්රිය කය බිඳීමෙන් මරණින් මතු සැප නැති, විසමව වැටෙන නිරයේ උපදී.”