3. 2. 10.
උපට්ඨිතසති සූත්‍රය
304. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්‍රද්ධා ඇත්තියක්වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, එළඹ සිටි සිහි ඇත්තියක් වේද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදීයයි” වදාළසේක.
3. 2. 11.
පඤ්චසීල සූත්‍රය
305. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර ධර්ම පසකින්ද යත්; සතුන් මැරීමෙන් වැළකුනී වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනී වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනී වෙයිද, බොරු කීමෙන් වැළකුනී වෙයිද, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර බීමෙන් වැළකුනී වෙයිද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීයයි” වදාළසේක.
අනුරුද්ධවග්ගො දුතියො.
තත්රුද්දානං:
අනුරුද්ධ, අක්කොධන, අනුපනාහී, අනිස්සුකී, අමච්ඡරී, අනතිචාරී, සීලවන්ත, බහුස්සුත, විරිය, සති සහ පඤ්චසීල යන සූත්‍රයෝ ශුක්ල පක්‍ෂයෙහි ප්‍රකාශිතයෝය.
3. බල වර්ගය
3. 3. 1.
සුද්ධ සූත්‍රය
306. “මහණෙනි, ස්ත්‍රියගේ මේ බල පසකි. කවර පසක්ද යත්? රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය සීලබලය, යන මොවුහුයි. මහණෙනි, මේ ස්ත්‍රියගේ බල පස වෙත්.”
3. 3. 2.
විසාරද සූත්‍රය
307. “මහණෙනි, ස්ත්‍රියගේ මේ බල පසකි. කවර බල පසක්දයත්? රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය සීලබලය යන පසයි. මහණෙනි, මොවුහු ස්ත්‍රියගේ බල පස වෙත්. මහණෙනි, මේ බල පසින් යුක්තවූ ස්ත්‍රිය නිර්භයව ගෙයි වාසය කරයි”.
3. 3. 3.
පසය්හ සූත්‍රය
308. “මහණෙනි, ස්ත්‍රියගේ මේ බල පසකි. කවර පසක්ද යත්, රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය යන මොවුහුයි. මහණෙනි, මේ ස්ත්‍රියගේ බලපස වෙති. මේ බලපසින් යුක්ත ස්ත්‍රිය ස්වාමියා මැඩපවත්වා ගෙයි වාසය කරයි.”
3. 3. 4.
අභිභුය්හ සූත්‍රය
309. “මහණෙනි, ස්ත්‍රියගේ මේ බලපසකි. කවර පසක්ද යත්? රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය, යන මොවුහුයි. මහණෙනි, මේ ස්ත්‍රියගේ බලපස වෙති. මහණෙනි, මේ බල පසින් යුක්ත ස්ත්‍රිය ස්වාමියා මැඩපවත්වා වසයි.
මහණෙනි, මේ එක්බලයකින් යුක්ත පුරුෂතෙම ස්ත්‍රිය මැඩපවත්වා වසයි. කවර එකකින්ද, ‘අධිපතිභාවයෙනි’. අධිපති භාවයෙන් බලයෙන් මඩනාලද ස්ත්‍රිය රැකීමට රූපබලය සමත් නොවේ, ධනබලය සමත්නොවේ. ඤාතිබලය සමත් නොවේ, පුත්‍රබලය සමත් නොවේ. සීලබලය සමත්නොවේ.”