2. අනුරුද්ධ වර්ගය
3. 2. 1.
අනුරුද්ධ සූත්‍රය
295. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙකහුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“ස්වාමීනි, මම මිනිස් ඇස් ඉක්ම පවතින දිවැසින් මේ ලෝකයෙහි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින ස්ත්‍රිය දකිමි. ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදීදැයි”
“අනුරුද්ධය, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්දයත්, ශ්‍රද්ධා ඇත්තියක්වේද, ලැජ්ජා ඇත්තියක්වේද, භය ඇත්තියක්වේද, ක්‍රෝධ නොකරන්නියක් වේද, නුවණ ඇත්තියක් වේද, අනුරුද්ධය, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 2.
අක්කොධන සූත්‍රය
296. පඤ්චහි ඛො අනුරුද්ධ ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, අක්කොධනො ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො අනුරුද්ධ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
3. 2. 3.
අනුපනාහී සූත්‍රය
297. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, බද්ධ වෛර නැත්තියක්වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 4.
අනිස්සුකී සූත්‍රය
298. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, ඊර්ෂ්‍යා නැත්තියක් වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 5.
අමච්ඡරී සූත්‍රය
299. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, මසුරු මළ නැත්තියක් වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 6.
අනතිචාරී සූත්‍රය
300. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර ධර්ම පසකින්ද යත්; ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, ස්වාමියා ඉක්ම නොපවතීද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 7.
සීලවන්ත සූත්‍රය
301. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක්වේද, භය ඇත්තියක්වේද, සිල්වත්වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”