2. 3. 6.
6. සම්බහුලභික්ඛු සූත්‍රය
274. එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: ස්වාමීනි, වේදනාවෝ කවරහුද, වේදනාවන්ගේ හේතුව කවරේද, වේදනාවන්ගේ හටගැනීම කරා පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනාවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේදැ?යි.
“මහණෙනි, මේ වේදනා තුනෙකි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්‍ෂා වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්‍ශයාගේ පහළවීමෙන් වේදනාවන්ගේ පහළවීම වේ. තෘෂ්ණාව වේදනා හටගැනීමට පැමිණෙන පටිපදාවයි. ස්පර්‍ශයාගේ නිරෝධය හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වේ. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞගික මාර්‍ගය වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි,
2. 3. 7.
7. සමණබ්‍රාහ්මණ සූත්‍රය
275. “මහණෙනි, මේ වේදනා තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත් සැප වේදනාවය, දුක් වේදනාවය, උපේක්‍ෂා වේදනාවය යන තිදෙනය. මහණෙනි, යම් ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ත්‍රිවිධ වේදනාවන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, “මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණ භාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ත්‍රිවිධ වේදනාවන්ගේ පහළවීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්යයි, වදාළ සේක.
2. 3. 8.
8. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
276. “මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනක්ද යත් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්‍ෂා වේදනාය යන තිදෙනාය. මහණෙනි, යම්කිසි ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ත්‍රිවිධ වේදනාවන්ගේ පහළවීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, “මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණ භාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ (විශිෂ්ට ඥානයෙන්) දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ත්‍රිවිධ වේදනාවන්ගේ පහළවීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද, “මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ (විශිෂ්ට ඥානයෙන්) දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්යයි, වදාළ සේක.
2. 3. 9.
9. තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
277. “මහණෙනි, යම්කිසි ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව නොදනිත්ද, වේදනාවන්ගේ හටගැනීම නොදනිත්ද, වේදනා නිරෝධය නොදනිත්ද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණ භාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව දනිත්ද, වේදනාවන්ගේ හටගැනීම දනිත්ද, වේදනා නිරෝධය දනිත්ද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ (විශිෂ්ට ඥානයෙන්) දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වෙසෙත්.
2. 3. 10.
10. සුද්ධිකවේදනා සූත්‍රය
278. “මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනක්ද යත් සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු ත්‍රිවිධ වේදනාවෝ වෙත්.
2. 3. 11.
11. නිරාමිස සූත්‍රය
279. “මහණෙනි, සාමිස (කෙලෙස් සහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිස (කෙලෙස් රහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිසයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) ප්‍රීතියක් ඇත්තේය. සාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) සැපයක් ඇත්තේය, සාමිස උපේක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්‍ෂාවෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) උපේක්‍ෂාවක් ඇත්තේය, සාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) විමොක්‍ෂයක් ඇත්තේය.
“මහණෙනි, සාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ කාම බන්‍ධන පසෙකි. කවර පහක්ද යත්, ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ වෙත්. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් සැපයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් ප්‍රීතියක් උපදීද මේ සාමිස ප්‍රීතියයි.