2. වේදනා සංයුත්තය
1. සගාථා වර්ගය
1. 20. 1.
සමාධි සූත්‍රය
249. “මහණෙනි, මේ වේදනා තුනකි. ඒ කවර තුනක්ද යත්? සැප වේදනාය, දුක් වේදනාය, සැපද නොවූ දුකද නොවූ වේදනාය. මහණෙනි, මොව්හු ත්‍රිවිධ වේදනාවෝයි.
(1) එකඟ වූ සිත් ඇති, සම්‍යක් ප්‍රඥාවෙන් යුත්, සිහි ඇති, බුද්ධ ශ්‍රාවකතෙම වේදනාවද, වේදනාවන්ගේ හේතුවද දනියි. (2) යම් තැනෙක්හි මේ වේදනාවෝ නිරුද්ධවෙත්ද, (වේදනාවන්) ක්ෂය කිරීමට පැමිණෙන මාර්ගය දනියිද, මහණතෙම වේදනාවන්ගේ ක්ෂය වීමෙන් තෘෂ්ණාව නැතිකොට ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන්නේය.,
1. 20. 2.
සුඛ සූත්‍රය
250. “මහණෙනි, මේ වේදනා තුනකි. ඒ කවර තුනක්ද? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ වේදනාවෝය.
(1) සැපවූ හෝ ඉදින් දුක් වූ හෝ සැප නොවූ හෝ දුක් නොවූ හෝ තමා තුළද පිටත්හිද යම්කිසි විඳීමක් ඇද්ද, (2) නැතිවන බිඳෙන ස්වභාව ඇති එය දුකයයි දැක නුවණින් ස්පර්ශ කොට බලන්නේ මෙසේ ඒ වේදනාවන්හි නොඇලෙන්නේය.,
1. 20. 3.
පහාන සූත්‍රය
250. “මහණෙනි, මේ වේදනා තුනකි. ඒ කවර තුනක්ද? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය යන තුනයි. මහණෙනි, සැප වේදනාවෙහි රාගානුසය පහ කටයුතුය. දුක් වේදනාවෙහි පටිඝානුසය පහ කටයුතුය. සැපත් නොවූ දුකත් නොවූ වේදනාවෙහි අවිද්‍යානුසය පහ කටයුතුය. මහණෙනි, යම් තැනෙක පටන් භික්ෂුවගේ සැප වේදනාවෙහි රාගානුසය ප්‍රහීණවූයේ වේද, දුක් වේදනාවෙහි පටිඝානුසය ප්‍රහීණවූයේ වේද, දුකද නැති සැපද නැති වේදනාවෙහි අවිජ්ජානුසය ප්‍රහීණවූයේ වේද, මහණෙනි, ඒ භික්ෂුව පහකළ රාගානුසය ඇත්තේයයිද, තෘෂ්ණාව සිංඳේය. (සංයෝජනය ලිහා දැම්මේය.) මනාකොට මානය දැක ප්‍රහීණ කිරීමෙන් දුක් කෙළවර කෙළේයයි කියනු ලැබේ.
වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් නොදන්නාවූ නිවන නොදක්නා සුළු සැප විඳින්නාහට ඒ රාගානුසය වේ.
වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් නොදන්නාවූ නිවන නොදක්නා සුළු දුක විඳින්නාහට පටිඝානුසය වේ.
මහත් ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ශාන්තවූ උපේක්ෂා වේදනාවක් වේද, ඊට හෝ සතුටුවෙත්ද, හෙතෙම දුකින් නොමිදේ.
යම් කලක පටන් කෙලෙස් තවන මහණතෙමේ සම්‍යක් ප්‍රඥාව අත්නොහරීද, එතැන් සිට ඒ පණ්ඩිතතෙම සියළු වේදනාවන් මනාසේ දනී.
හෙතෙම වේදනාවන් සම්‍යක් ප්‍රඥාවෙන් දැන මෙලොව ආශ්‍රව රහිතවූයේ, ධර්මස්ථවූයේ වේදයන්හි පරතෙරට ගියේ කරජකායයාගේ බිඳීමෙන් රාග ඇත්තෙක, දෝෂ ඇත්තෙක, මෝහ ඇත්තෙක යන සංඛ්‍යාවට නොපැමිණෙයි.
1. 20. 4.
පාතාල සූත්‍රය
252. “මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම මහා සමුද්‍රයෙහි පාතාලයක් (පතුලක් නැති තැනක්) ඇතැයි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම ඒ නැති අවිද්‍යාමාන වූවක් ගැන මහා සමුද්‍රයෙහි පාතාලයක් ඇතැයි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, යම් මේ පාතාල යන වචනයක් වේද, එය ශාරීරික දුක්ඛ වේදනාවන්ට නමකි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම ශාරීරික දුක්ඛ වේදනාවෙන් ස්පර්ශවන ලද්දේ ශෝක කරයි. ක්ලාන්ත වෙයි. විලාප කියයි. පපුවට ගසමින් අඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම පාතාලයෙන් නොනැගිට්ටේය. පිහිටීමකට නොපැමිණියේය. “මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශාරීරික දුක්ඛ වේදනාවෙන් ස්පර්ශවූයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. පපුවට ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පාතාලයෙන් නැගිට්ටේය. පිහිටීමකට පැමිණියේය.
යමෙක් තෙම යමකින් ස්පර්ශ කරන ලද්දේ වෙවුලාද, ශාරීරිකවූ, ප්‍රාණය පැහැරගන්නාවූ උපන් මේ දුක්ඛ වේදනාවන් නොඉවසයිද,
වීර්‍ය්‍ය මඳවූ දුර්වලවූ හෙතෙම හඬයි, විලාප කියයි, හෙතෙම පාතාලයෙන් නොනැගිට්ටේය. තවද පතුලටද නොපැමිණියේය.
යමෙක් තෙම යමකින් ස්පර්ශ කරන ලද්දේ නොවෙවුලාද, ශාරීරිකවූ ප්‍රාණය පැහැරගන්නාවූ උපන් දුක්ඛ වේදනාවන් ඉවසාද, හෙතෙම ඒකාන්තයෙන් පාතාලයෙන් නැගිට්ටේය. පතුලටද පැමිණියේය.,