2. 3. 2.
2. අට්ඨසතපරියාය සූත්රය
270. “මහණෙනි, තොපට කරුණු එකසිය අටක් ඇති ධර්ම ක්රමයක් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, කරුණු එකසිය අටක් ඇති ධර්ම ක්රමය කවරේද? මහණෙනි, මා විසින් කරුණු අනුව වේදනා දෙකක් වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා තුනක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා පසක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා සයක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා දහඅටක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා තිස්හයක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා එකසියඅටක්ද වදාරන ලදී.
“මහණෙනි, වේදනා දෙක කවරේද, කායික වේදනාය, චෛතසික වේදනාය යන දෙකයි. මහණෙනි, මොවුහු දෙවැදෑරුම් වේදනාවෝයයි කියනු ලැබෙත්. “මහණෙනි, ත්රිවිධ වේදනාවෝ කවරහුද, සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය යනුයි. මහණෙනි, මොවුහු ත්රිවිධ වේදනාවෝයයි කියනු ලැබෙත්. “මහණෙනි, පඤ්චවිධ වේදනාවෝ කවරහුද, සැප ඉන්ද්රිය, දුක් ඉන්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්ද්රිය යන මොහුයි. මහණෙනි, මොවුහු පඤ්චවිධ වේදනාවෝයයි කියනු ලැබෙත්. “මහණෙනි, සවැදෑරුම් වේදනාවෝ කවරහුද, චකඛු සම්ඵස්සජ වේදනාය, සෝත සම්ඵස්සජ වේදනාය, ඝාණ සම්ඵස්සජ වේදනාය, ජිව්හා සම්ඵස්සජ වේදනාය, කාය සම්ඵස්සජ වේදනාය, මනෝ සම්ඵස්සජ වේදනාය යන මොහුයි. මහණෙනි, මොවුහු හය ආකාර වේදනාවෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, අටළොස් වේදනාවෝ කවරහුද, සොම්නස සමග හැසිරෙන්නාවූ වේදනා සයය, දොම්නස සමග හැසිරෙන්නාවූ වේදනා සයය, උපේක්ෂාව සමග හැසිරෙන්නාවූ වේදනා සයය යන මොවුහුය. මහණෙනි, මොවුහු අටළොස් වේදනායයි කියනු ලැබෙත්. “මහණෙනි, සතිස් වේදනාවෝ කවරහුද, ගෘහය ඇසුරු කළ (පස්කම් ගුණ ඇසුරු කළ) සොම්නස් සයය, හික්මීම ඇසුරු කළ (නෙක්ඛම්මය ඇසුරු කළ) සොම්නස් සයය, ගෘහය ඇසුරු කළ (පස්කම් ගුණ ඇසුරු කළ) දොම්නස් සයය, හික්මීම ඇසුරු කළ (නෙක්ඛම්මය ඇසුරු කළ) දොම්නස් සයය, ගෘහය ඇසුරු කළ (පස්කම් ගුණ ඇසුරු කළ) උපේක්ෂා සයය, හික්මීම ඇසුරු කළ (නෙක්ඛම්මය ඇසුරු කළ) උපේක්ෂා සයය. මහණෙනි, මොවුහු සතිස් වේදනාවෝයයි කියනු ලැබෙත්. “මහණෙනි, එකසිය අටක් වේදනාවෝ කවරහුද? අතීතවූ සතිස් වේදනාය, අනාගතවූ සතිස් වේදනාය, වර්තමානවූ සතිස් වේදනාය යන මොහුය. මහණෙනි, මොවුහු එකසිය අටක් වේදනාවෝයයි කියනු ලැබෙත්. මහණෙනි, මේ වනාහි එකසිය අට ආකාරයක් ඇති ධර්ම ක්රමයයි කියනු ලැබේ.
2. 3. 3.
3. භික්ඛු සූත්රය
271. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමීනි, වේදනාව කවරේද? වේදනාවෙහි හේතුව කවරේද, වේදනාව පහළවීම පිණිස පවත්නා ප්රතිපදාව කවරේද, වේදනාවෙහි නිරෝධය කවරේද, වේදනා නිරුද්ධයට යන ප්රතිපදාව කවරේද, වේදනාවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?,
“මහණෙනි, මේ වේදනා තුනකි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා යන මේ තුනය. මහණ, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්ශයාගේ හටගැනීමෙන් වේදනාව පහළවේ. තෘෂ්ණාව, වේදනාව ඉපදීම කරා පැමිණෙන ප්රතිපදාවය. ස්පර්ශය නිරුද්ධවීම හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වෙයි. මේ සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්ය්ය අෂ්ටාඞගික මාර්ගය වේදනා නිරෝධයට යන ප්රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි,
2. 3. 4.
4. පුබ්බෙ සූත්රය
272. “මහණෙනි, මට බුදුවීමට පෙර චතුස්සත්ය අවබෝධ කිරීමට පළමු බොධිසත්ත්ව කාලයේම වේදනාවෝ කවරහුද? වේදනාවට හේතු කවරේද, වේදනා පහළවීම කරා පැමිණෙන ප්රතිපදාව කවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරුද්ධයට පැමිණෙන ප්රතිපදාව කවරේද, වේදනාවගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද යන මේ අදහස පහළවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. “මහණෙනි, මේ වේදනා තුනකි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා යන මේ තුනය. මහණ, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්ශයාගේ හටගැනීමෙන් වේදනාව පහළවේ. තෘෂ්ණාව, වේදනාව ඉපදීම කරා පැමිණෙන ප්රතිපදාවය. ස්පර්ශය නිරුද්ධවීම හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වෙයි. මේ සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්ය්ය අෂ්ටාඞගික මාර්ගය වේදනා නිරෝධයට යන ප්රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි,