2. 2. 9.
පඤ්‌චකඞ්‌ග සූත්‍රය
267. එකල්හි පඤ්‌චකඞ්‌ග නම් වඩුවෙක් ආයුෂ්මත් උදායී ස්ථවිරයන් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ පඤ්‌චකඞ්‌ග (වෑය, පොරව, යවුල, මුගුර සහ දැලි නූල යන මේවායින් යුක්තව හැසුරුණ හෙයින්, “පඤ්‌චකඞ්‌ග වඩු” යයි ව්‍යවහාර විය.) නම් වඩුතෙම, ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීය. ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා කෙතෙක් වදාරණ ලද්දාහුද?”
“ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්‍ෂා වේදනායයි කියා වේදනා තුනක් වදාරන ලදහ. ගෘහපතිය මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහයි කීය.
මෙසේ කී කල්හි පඤ්‌චකඞ්‌ග නම් වඩුතෙම, ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට, “ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් නොවදාරන ලද්දේය” යි කීයේය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනායයි වේදනා දෙකක් වදාරන ලදී. ස්වාමීනි, යම් මේ උපේක්‍ෂා වේදනාවක් ඇද්ද, එය ශාන්ත ප්‍රණීත සැපයෙහිලා භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.”
දෙවනුවත් ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම පඤ්‌චකඞ්‌ග නම් වඩුවාට මෙය කීහ: 'ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරන ලදී. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්‍ෂා වේදනායයි මේ වේදනාවන් තිදෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ.
දෙවනුවත් පඤ්‌චකඞ්‌ග වඩුතෙම, ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීහ: 'ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනාවන් තිදෙනෙක් නොවදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය යන මේ වේදනා දෙකක් වදාරන ලදී. ස්වාමීනි, යම් උපේක්‍ෂා වේදනාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ විසින් ශාන්ත, ප්‍රණීත, සැපයෙහිලා වදාරන ලදී.'
තුන්වෙනුවත් ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම පඤ්‌චකඞ්‌ග නම් වඩුවාට මෙය කීහ: 'ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරන ලදී. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්‍ෂා වේදනායයි මේ වේදනාවන් තිදෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ.,
තුන්වෙනුවත් පඤ්‌චකඞ්‌ග නම් වඩුතෙම, ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීහ: ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදහ. සැප වේදනා දුක් වේදනා යන වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. ස්වාමීනි, යම් මේ උපේක්‍ෂා වේදනාවක් ඇද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය ශාන්ත, ප්‍රණීත, සැපයෙහි වදාරන ලදැයි, කීය. ආයුෂ්මත් උදායී තෙරුන්ට, පඤ්‌චකඞ්‌ග නම් වඩුවාට අවබෝධ කරවන්නට නොහැකිවිය. පඤ්‌චකඞ්‌ග නම් වඩුවාද, ආයුෂ්මත් උදායී තෙරුන්ට හඟවන්නට නොහැකි විය.
ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ හා පඤ්‌චකඞ්‌ග නම් වඩුවා අතර සිදුවූ මේ කතාබහ ඇසූසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, යම්තාක් ආයුෂ්මත් උදායී ස්ථවිරයන් හා පඤ්‌චකඞ්‌ග නම් වඩුවා සමගවූ කතාබහක් වේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කෙළේය.
“ආනන්‍දය, පඤ්‌චකඞ්‌ග වඩුතෙම කරුණක් ඇතිවම උදායී භික්‍ෂුව සමග එකඟ නොවූයේය. ආනන්‍දය, උදායී භික්‍ෂුවද කරුණක් ඇතිවම පඤ්‌චකඞ්‌ග වඩුවා සමග එකඟ නොවූයේය. ආනන්‍දය, මා විසින් කාරණා වශයෙන් වේදනා දෙකක් වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා තුනක් ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා පහක්ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා සයක්ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා දහ අටක්ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා තිස් හයක්ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා එකසිය අටක්ද වදාරන ලදී.
ආනන්‍දය, මෙසේ ධර්‍මය මා විසින් කාරණා වශයෙන් වදාරන ලදී. ආනන්‍දය, මෙසේ මා විසින් කාරණා වශයෙන් දේශනා කරන ලද ධර්‍මය ඇති කල්හි, යමක් ඔවුනොවුන් මනාකොට කියන ලද්ද, යහපත්කොට කියන ලද්ද, ඔවුනොවුන් එකඟව නොහඟිත්ද, එකඟව නොදැනගනිත්ද, එකඟව සතුටු නොවෙත්ද, මනාව නොදනිත්ද, මනාව අනුමෝදන් නොවෙත්ද, ඔවුන්ට හටගත් කොලාහල ඇත්තාහු, කලහ ඇත්තාහු, හටගත් විවාද ඇත්තාහු, ඔවුනොවුන් මුව නමැති අවියෙන් විදිමින් හැසිරෙත් යන මෙය කැමැති විය යුතුයි.
ආනන්‍දය, මා විසින් කාරණා වශයෙන් වදාරන ලද ධර්‍මය ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන් විසින් මනාව කියන ලද්ද යහපත්කොට කියන ලද්ද එකඟව හඟිත්ද, එකඟව දනිත්ද, එකඟව සතුටුවෙත්ද, ඔවුහු සමගි වූවාහු සතුටු වූවාහු විවාද නොකරන්නාහු කිරි හා දිය මෙන් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇස් වලින් බලමින් වාසය කෙරෙත් යන මෙය බලාපොරොත්තු විය යුතුය.
“ආනන්‍දය, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක්ද යත්, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලෙන්නාවූ, ඇසින් දැක්කයුතු රූපයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලෙන්නාවූ කනින් දතයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලෙන්නාවූ, නාසයෙන් දතයුතු ගන්‍ධයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලෙන්නාවූ, දිවෙන් දතයුතු රසයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ කයින් දතයුතු ස්පර්‍ශයෝය යන මේ පස පඤ්චකාම ගුණයෝ වෙත්. “ආනන්‍දය, මේ පස්කම් ගුණයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ කාම සැපයයි කියනු ලැබේ. ආනන්‍දය, යම් කෙනෙක්, මේ අතිශයින් ශාන්තවූ සැපවූ සොම්නසක් විඳිත්යයි, මෙසේ කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. හේතු කවරේද? ආනන්‍දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය.