2. 2. 10.
භික්ඛු සූත්‍රය
268. “මහණෙනි, මා විසින් කරුණු වශයෙන් වේදනා දෙකක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා තුනක් ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා පසක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා සයක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා දහ අටක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා තිස් හයක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා එකසිය අටක්ද වදාරන ලදී. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය කරුණු වශයෙන් දෙසන ලදී.
“මහණෙනි, මා විසින් ධර්‍මය කරුණු වශයෙන් වදාළ කල්හි යමෙක් ඔවුනොවුන් විසින් යහපත්කොට කියන ලද්ද මනාකොට කියන ලද්ද, අනුමත නොකරද්ද, මනාව නොදනිද්ද, සතුටු නොවෙද්ද, ඔවුහු හටගත් ඩබර ඇත්තාහු කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුව නමැති ආයුධ වලින් විදිනු ලබන්නාහු වාසය කරන්නාහුය යන මෙය කැමති විය යුත්තේය.
මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය කාරණානුකූලව වදාරන ලදී. මෙසේ මා විසින් කාරණානුකූලව වදාළ කල්හි යමෙක් ඔවුනොවුන් විසින් යහපත්කොට කියන ලද්ද මනාකොට කියන ලද්ද, අනුමත කරත්ද, සතුටු වෙත්ද, ඔවුන් විසින් සමගි වූවාහු සතුටු වූවාහු විවාද නොකරන්නාහු කිරි හා දිය මෙන් එක්වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇස් වලින් බලන්නාහු වාසය කෙරෙත් යන මෙය කැමති විය යුත්තේය.
“මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක්ද යත්, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලෙන්නාවූ ඇසින් දැක්කයුතු රූපයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලෙන්නාවූ කනින් දතයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලෙන්නාවූ නාසයෙන් දතයුතු ගන්‍ධයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලෙන්නාවූ දිවෙන් දතයුතු රසයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ කයින් දතයුතු ස්පර්‍ශයෝය යන මේ පස පඤ්චකාම ගුණයෝ වෙත්.
“මහණෙනි, මේ පස්කම් ගුණයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ කාම සැපයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක්, මේ අතිශයින් ශාන්තවූ සැපවූ සොම්නසක් විඳිත්යයි, මෙසේ කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිත, විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, මහණෙනි, මේ වනාහි මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය වෙයි.
“මහණෙනි, යම් කෙනෙක් වනාහි, මේ අතිශයින් ශාන්තවූ සැපවූ සොම්නසක් විඳිත්යයි, කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම සිතේ එකඟබව ඇති විතර්‍කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, ප්‍රණීතවූද, අනෙක් සැපය වෙයි. “මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්තවූ සැපක් සොම්නසක් විඳිත්යයි, කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද, මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අන්‍යවූ අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ප්‍රීතිය දුරු කිරීමෙන් උපේක්‍ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ කයෙන් සැපයක් විඳීද, යම් ධ්‍යානයක් උපේක්‍ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරත්ද, මහණෙනි, මේ ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, ප්‍රණීතවූද, අනික් සැපය වෙයි. “මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්තවූ සැපක් සොම්නසක් විඳිත්යයි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ ඒ කීම මම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම සැපය දුරු කිරීමෙන්ද දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනා පහ කිරීමෙන්ද, දුක්ද නොවූ සැපද නොවූ උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි. “මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥා ඉක්මවීමෙන් පටිඝ (කෝප) සංඥාව දුරුකිරීමෙන් නානතත සංඥාව මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි. “මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපතක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරත්ද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි. “මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවෙක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි. “මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි, “මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරත්ද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි,
“මහණෙනි, අන්‍යතීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ, ‘ශ්‍රමණ භවත් ගෞතමතෙමේ සඤ්ඤාවෙදයිත නිරෝධය කියන ලදී. එය සැපයෙහි පනවයි. එය කුමක් වන්නේද, එය කෙසේ වන්නේදැයි’ කියන්නාහුය යන මේ කරුණ විද්‍යාමාන වේ. මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍යතීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ට ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සැප වේදනාව සඳහාම සැපයයි නොපණවත්. ඇවැත්නි, යම් යම් තැනක යම් යම් සැපක් ලැබේද, ඒ ඒ සැපය තථාගතයන් වහන්සේ සැපයෙහි පණවත්යයි’ මෙසේ කිව යුත්තාහ.
දෙවන රහොගත වර්‍ගය නිමි.
එහි උද්දානය:
රහොගත සූත්‍රය ද, ආකාස සූත්‍ර දෙකක් ද, අගාර සූත්‍රය ද, සන්තක සූත්‍ර දෙකක් ද, අට්ඨක සූත්‍රයෙන් කියන ලද දෙකක් ද, පඤ්චකඞ්ග සහ භික්ඛු සූත්‍රය ද වේ.