2. 2. 8.
8. දුතිය අට්ඨක සූත්‍රය
266. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නාහුය. එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ ‍මෙය වදාළසේක: “මහණෙනි, වේදනාව කවරේද? වේදනාවන්ගේ හේතුව කවරේද? වේදනා නිරෝධය කවරේද? වේදනා නිරෝධයට පැමිණෙන පිළිවෙත කවරේද? වේදනාවගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේදැයි ඇසූහ.
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙන සේක් නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහුය.” -පෙ- “මහණෙනි, මේ වේදනා තුනකි: සැප වේදනාව, දුක් වේදනාව, දුක් නොවූ සැප නොවූ වේදනාව යි. මහණෙනි, මේවා වේදනා යයි කියනු ලැබේ. ස්පර්ශය හටගැනීමෙන් වේදනාව හටගනියි. -පෙ- (පෙර සූත්‍රය යම් සේද, එසේ විස්තර කළ යුතුය.)
2. 2. 9.
පඤ්‌චකඞ්‌ග සූත්‍රය
267. එකල්හි පඤ්‌චකඞ්‌ග නම් වඩුවෙක් ආයුෂ්මත් උදායී ස්ථවිරයන් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ පඤ්‌චකඞ්‌ග (වෑය, පොරව, යවුල, මුගුර සහ දැලි නූල යන මේවායින් යුක්තව හැසුරුණ හෙයින්, “පඤ්‌චකඞ්‌ග වඩු” යයි ව්‍යවහාර විය.) නම් වඩුතෙම, ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීය. ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා කෙතෙක් වදාරණ ලද්දාහුද?”
“ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්‍ෂා වේදනායයි කියා වේදනා තුනක් වදාරන ලදහ. ගෘහපතිය මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහයි කීය.
මෙසේ කී කල්හි පඤ්‌චකඞ්‌ග නම් වඩුතෙම, ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට, “ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් නොවදාරන ලද්දේය” යි කීයේය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනායයි වේදනා දෙකක් වදාරන ලදී. ස්වාමීනි, යම් මේ උපේක්‍ෂා වේදනාවක් ඇද්ද, එය ශාන්ත ප්‍රණීත සැපයෙහිලා භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.”
දෙවනුවත් ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම පඤ්‌චකඞ්‌ග නම් වඩුවාට මෙය කීහ: 'ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරන ලදී. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්‍ෂා වේදනායයි මේ වේදනාවන් තිදෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ.
දෙවනුවත් පඤ්‌චකඞ්‌ග වඩුතෙම, ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීහ: 'ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනාවන් තිදෙනෙක් නොවදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය යන මේ වේදනා දෙකක් වදාරන ලදී. ස්වාමීනි, යම් උපේක්‍ෂා වේදනාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ විසින් ශාන්ත, ප්‍රණීත, සැපයෙහිලා වදාරන ලදී.'
තුන්වෙනුවත් ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම පඤ්‌චකඞ්‌ග නම් වඩුවාට මෙය කීහ: 'ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරන ලදී. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්‍ෂා වේදනායයි මේ වේදනාවන් තිදෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ.,
තුන්වෙනුවත් පඤ්‌චකඞ්‌ග නම් වඩුතෙම, ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීහ: ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදහ. සැප වේදනා දුක් වේදනා යන වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. ස්වාමීනි, යම් මේ උපේක්‍ෂා වේදනාවක් ඇද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය ශාන්ත, ප්‍රණීත, සැපයෙහි වදාරන ලදැයි, කීය. ආයුෂ්මත් උදායී තෙරුන්ට, පඤ්‌චකඞ්‌ග නම් වඩුවාට අවබෝධ කරවන්නට නොහැකිවිය. පඤ්‌චකඞ්‌ග නම් වඩුවාද, ආයුෂ්මත් උදායී තෙරුන්ට හඟවන්නට නොහැකි විය.