2. 2. 2.
2. ආකාස සූත්‍රය
260. “මහණෙනි, යම්සේ අහසෙහි නොයෙක් වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණුදිගින්ද වාතයෝ හමත්. දූවිලි සහිත වාතයෝද හමත්. දූවිලි නැති වාතයෝද හමත්. ශීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. ස්වල්ප වූ වාතයෝද හමත්. මහත් වූ වාතයෝද හමත්. මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්, දුක් වේදනාවෝද උපදිත්, උපේක්‍ෂා වේදනාවෝද උපදිත්යයි, වදාළසේක.
අහසෙහි යම්සේ නානාප්‍රකාරවූ, බොහෝ වාතයෝ හමත්ද, පෙරදිගින්ද, අවරදිගින්ද, උතුරුදිගින්ද නැවත දකුණු දිගින්ද වාතයෝ හමත්.
කලෙක ධූලි සහිතවූද, ධූලි රහිතවූද, ශිතවූද, උෂ්ණවූද, මහත්වූද, ස්වල්පවූද, බොහෝ වාතයෝ හමත්.
එසේම මේ ශරීරයෙහි සැපවූද, දුක්වූද, සැපද නොවූ, දුක්ද නොවූ නොයෙක් වේදනාවෝ උපදිත්.
කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති මහණ, යම් හෙයකින් සම්‍යක් ප්‍රඥාව අත් නොහරීද, එහෙයින්ම සියලු වේදනා පිරිසිඳ දැනගනියි.
හෙතෙම වේදනා පිරිසිඳ දැන මේ ආත්මයෙහිම ආශ්‍රව රහිතවූයේ, ධර්‍මයෙහි පිහිටියේ, අර්‍හත්වයට පැමිණියේ, ශරීරයාගේ භේදයෙන් පහත් සත්ත්‍වයා යන සංඛ්‍යාවට නොපැමිණෙයි,
2. 2. 3.
3. දුතිය ආකාස සූත්‍රය
261. “මහණෙනි, යම්සේ අහසෙහි නොයෙක් වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණුදිගින්ද වාතයෝ හමත්. දූවිලි සහිත වාතයෝද හමත්. දූවිලි නැති වාතයෝද හමත්. ශීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. ස්වල්ප වූ වාතයෝද හමත්. මහත් වූ වාතයෝද හමත්. මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්, දුක් වේදනාවෝද උපදිත්, උපේක්‍ෂා වේදනාවෝද උපදිත්යයි, වදාළසේක.
2. 2. 4.
4. අගාර සූත්‍රය
262. “මහණෙනි, ආගන්තුක ශාලාවක් යම්සේ වේද? එහි පෙරදිගින්ද අවුත් වාසය කරත්. අපරදිගින්ද අවුත් වාසය කරත්. උතුරුදිගින්ද අවුත් වාසය කරත්. දකුණුදිගින්ද අවුත් වාසය කරත්. ක්‍ෂත්‍රියයෝද පැමිණ වෙසෙත්. බ්‍රාහ්මණයෝද පැමිණ වෙසෙත්. වෛශ්‍යයෝද පැමිණ වෙසෙත්. ශුද්‍රයෝද පැමිණ වසත්.
“මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්. දුක් වේදනාවෝද උපදිත්. උපේක්‍ෂා වේදනාවෝද උපදිත්. සාමිස සැප වේදනාද උපදිත්. නිරාමිස සැප වේදනාද උපදිත්. සාමිස දුක් වේදනාද උපදිත්. නිරාමිස දුක් වේදනාද උපදිත්. සාමිස උපේක්‍ෂා වේදනාද උපදිත්. නිරාමිස උපේක්‍ෂා වේදනාද උපදිත්යයි, වදාළසේක.
2. 2. 5.
5. සන්තක සූත්‍රය
263. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිසේක්ද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, වේදනාව කුමක්ද? වේදනාවන්ගේ හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනාවන් නිරෝධයට පැමිණෙන මාර්‍ගය කුමක්ද? වේදනාවන්ගේ ආශ්වාදය කුමක්ද? වේදනාවන්ගේ ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද?, කියායි.
“ආනන්‍දය, සැප වේදනා, දුක් වේදනා, උපේක්‍ෂා වේදනායි වේදනා තුනකි. ආනන්‍දය, මොවුහු වේදනායයි කියනු ලැබෙත්. ස්පර්‍ශය නිසා වේදනාව උපදී. ස්පර්‍ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාඬගික මාර්‍ගය වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව වෙයි. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවන්ගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ඡන්‍දරාග දුරුකිරීමක්, ඡන්‍දරාග ප්‍රහාණයක් ඇද්ද මේ වේදනාවේ නිස්සරණයයි.