2. 2. 3.
3. දුතිය ආකාස සූත්රය
261. “මහණෙනි, යම්සේ අහසෙහි නොයෙක් වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණුදිගින්ද වාතයෝ හමත්. දූවිලි සහිත වාතයෝද හමත්. දූවිලි නැති වාතයෝද හමත්. ශීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. ස්වල්ප වූ වාතයෝද හමත්. මහත් වූ වාතයෝද හමත්. මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්, දුක් වේදනාවෝද උපදිත්, උපේක්ෂා වේදනාවෝද උපදිත්යයි, වදාළසේක.
2. 2. 4.
4. අගාර සූත්රය
262. “මහණෙනි, ආගන්තුක ශාලාවක් යම්සේ වේද? එහි පෙරදිගින්ද අවුත් වාසය කරත්. අපරදිගින්ද අවුත් වාසය කරත්. උතුරුදිගින්ද අවුත් වාසය කරත්. දකුණුදිගින්ද අවුත් වාසය කරත්. ක්ෂත්රියයෝද පැමිණ වෙසෙත්. බ්රාහ්මණයෝද පැමිණ වෙසෙත්. වෛශ්යයෝද පැමිණ වෙසෙත්. ශුද්රයෝද පැමිණ වසත්.
“මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්. දුක් වේදනාවෝද උපදිත්. උපේක්ෂා වේදනාවෝද උපදිත්. සාමිස සැප වේදනාද උපදිත්. නිරාමිස සැප වේදනාද උපදිත්. සාමිස දුක් වේදනාද උපදිත්. නිරාමිස දුක් වේදනාද උපදිත්. සාමිස උපේක්ෂා වේදනාද උපදිත්. නිරාමිස උපේක්ෂා වේදනාද උපදිත්යයි, වදාළසේක.
2. 2. 5.
5. සන්තක සූත්රය
263. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිසේක්ද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, වේදනාව කුමක්ද? වේදනාවන්ගේ හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනාවන් නිරෝධයට පැමිණෙන මාර්ගය කුමක්ද? වේදනාවන්ගේ ආශ්වාදය කුමක්ද? වේදනාවන්ගේ ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද?, කියායි.
“ආනන්දය, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනායි වේදනා තුනකි. ආනන්දය, මොවුහු වේදනායයි කියනු ලැබෙත්. ස්පර්ශය නිසා වේදනාව උපදී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. මේ ආර්ය්ය අෂ්ටාඬගික මාර්ගය වේදනා නිරෝධයට පැමිණෙන ප්රතිපදාව වෙයි. එනම් සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධියයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවන්ගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්යද, දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ඡන්දරාග දුරුකිරීමක්, ඡන්දරාග ප්රහාණයක් ඇද්ද මේ වේදනාවේ නිස්සරණයයි.
“තවද ආනන්දය, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරෝධයද කියන ලදී. ප්රථම ධ්යානයට සමවැදුනුහට වචනය නිරුද්ධවූයේ වේ. ද්විතීය ධ්යානයට සමවැදුනුහට විතර්කවිචාරයෝ නිරුද්ධවෙත්. තෘතීය ධ්යානයට සමවැදුනුහට ප්රීතිය නිරුද්ධවූයේ වෙයි. චතුර්ත්ථ ධ්යානයට සමවැදුනුහට ආශ්වාස ප්රශ්වාසයෝ නිරුද්ධවෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව නිරුද්ධවෙයි. විඤ්ඤාණඤචායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. ආකිඤචඤ්ඤායතනයට සමවැදුනුහට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනුහට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධවෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනුහට සංඥාවද වේදනාවද නිරුද්ධවෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය නිරුද්ධවූයේ වෙයි. ද්වේෂය නිරුද්ධවූයේ වෙයි. මෝහය නිරුද්ධවූයේ වෙයි. “තවද ආනන්දය, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලදී. ප්රථම ධ්යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීය ධ්යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්යානයට සමවන්නහුට ප්රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්යානයට සමවන්නහුට ආශ්වාස ප්රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වෙයි.
“තවද ආනන්දය, මා විසින් පිළිවෙළින් සංස්කාරයන්ගේ පස්සද්ධිය කියන ලද්දේය. ප්රථම ධ්යානයට සමවන්නහුට වචන සන්සිඳුනේ වේ. ද්විතීය ධ්යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්යානයට සමවන්නහුට ප්රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්යානයට සමවන්නහුට ආශ්වාස ප්රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤචායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වේයයි වදාළ සේක.
2. 2. 6.
6. දුතිය සන්තක සූත්රය
264. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිසේක්ද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්ද, වේදනාව කුමක්ද? වේදනාවන්ගේ හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනාවන් නිරෝධයට පැමිණෙන මාර්ගය කුමක්ද? වේදනාවන්ගේ ආශ්වාදය කුමක්ද? වේදනාවන්ගේ ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද?, කියායි.
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ නායකකොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේම පිළිසරණකොට ඇත්තාහ. මේ කියන ලද්දෙහි තේරුම භාග්යවතුන් වහන්සේ දේශනා කරනසේක් නම් ඒකාන්තයෙන් යහපති. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය, යි කීය. ආනන්දය, එසේනම් අසව, යහපත්සේ මෙනෙහි කරව, කියන්නෙමි, යි වදාළසේක. “එසේය ස්වාමීනි, යි කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.