2. 2. 1.
1. රහොගත සූත්රය
259. ඉක්බිති එක්තරා භික්ෂු නමක් භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, මෙහි රහසිගතවූ, හුදකලාවූ මට මෙසේ සිතට විතර්කයක් පහළවිය. භාග්යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය'යි වේදනා තුනක් වදාරන ලදහ. භාග්යවතුන් වහන්සේ විසින් මේ වේදනා තුන වදාරන ලදහ. භාග්යවතුන් වහන්සේ විසින් යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකයයිද වදාරන ලදී. යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකයයි මෙය කුමක් සඳහා භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේද?"යි, කියායි.
“යහපත, යහපත, මහණ. මහණ. මා විසින් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනායයි යන මේ වේදනා තුන මා විසින් වදාරන ලදහ. මහණ, මා විසින්, යම්කිසි විඳීමක් ඇද්ද ඒ සියල්ල දුකය යන මෙයද කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම අනිත්යය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම ක්ෂයවන ස්වභාවය සඳහා යම් කිසි විඳීමක් ඇද්ද ඒ සියල්ල දුකය, යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම විනාශවන ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම විරාග ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම නිරෝධ ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම විපරිණාම ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී.
“තවද මහණ, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරෝධයද කියන ලදී. ප්රථම ධ්යානයට සමවන්නහුට වචනය නිරුද්ධවූයේ වේ. ද්විතීයධ්යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ නිරුද්ධවෙත්. තෘතීයධ්යානයට සමවන්නහුට ප්රීතිය නිරුද්ධවූයේ වෙයි. චතුර්ත්ථධ්යානයට සමවන්නහුට ආශ්වාස ප්රශ්වාසයෝ නිරුද්ධවෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව නිරුද්ධවෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධවෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද නිරුද්ධවෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය නිරුද්ධවූයේ වෙයි. ද්වේෂය නිරුද්ධවූයේ වෙයි. මෝහය නිරුද්ධවූයේ වෙයි.,
“තවද මහණ, මා විසින් පිළිවෙළින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලදී. ප්රථම ධ්යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීයධ්යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීයධ්යානයට සමවන්නහුට ප්රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථධ්යානයට සමවන්නහුට ආශ්වාස ප්රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේ වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද, වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වෙයි.
“මහණෙනි, මේ සංසිඳීම් (ශාන්තවීම්) සයකි. ප්රථම ධ්යානයට සමවැදුනහුට වචනය සංසිඳුනේ වේ. ද්විතීයධ්යානයට සමවැදුනහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීයධ්යානයට සමවැදුනහුට ප්රීතිය සංසිඳුනේ වෙයි. චතුර්ත්ථධ්යානයට සමවැදුනහුට ආශ්වාස ප්රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනහුට සංඥාවද, වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වේයයි, වදාළ සේක.
2. 2. 2.
2. ආකාස සූත්රය
260. “මහණෙනි, යම්සේ අහසෙහි නොයෙක් වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණුදිගින්ද වාතයෝ හමත්. දූවිලි සහිත වාතයෝද හමත්. දූවිලි නැති වාතයෝද හමත්. ශීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. ස්වල්ප වූ වාතයෝද හමත්. මහත් වූ වාතයෝද හමත්. මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්, දුක් වේදනාවෝද උපදිත්, උපේක්ෂා වේදනාවෝද උපදිත්යයි, වදාළසේක.
අහසෙහි යම්සේ නානාප්රකාරවූ, බොහෝ වාතයෝ හමත්ද, පෙරදිගින්ද, අවරදිගින්ද, උතුරුදිගින්ද නැවත දකුණු දිගින්ද වාතයෝ හමත්.
කලෙක ධූලි සහිතවූද, ධූලි රහිතවූද, ශිතවූද, උෂ්ණවූද, මහත්වූද, ස්වල්පවූද, බොහෝ වාතයෝ හමත්.
එසේම මේ ශරීරයෙහි සැපවූද, දුක්වූද, සැපද නොවූ, දුක්ද නොවූ නොයෙක් වේදනාවෝ උපදිත්.
කෙලෙස් තවන වීර්ය්ය ඇති මහණ, යම් හෙයකින් සම්යක් ප්රඥාව අත් නොහරීද, එහෙයින්ම සියලු වේදනා පිරිසිඳ දැනගනියි.
හෙතෙම වේදනා පිරිසිඳ දැන මේ ආත්මයෙහිම ආශ්රව රහිතවූයේ, ධර්මයෙහි පිහිටියේ, අර්හත්වයට පැමිණියේ, ශරීරයාගේ භේදයෙන් පහත් සත්ත්වයා යන සංඛ්යාවට නොපැමිණෙයි,