1. 20. 9.
9. අනිච්‌ච සූත්‍රය
257. “මහණෙනි, අනිත්‍යවූද, ප්‍රත්‍යයන් විසින් එක්ව සකස් කරන ලද්දාවූද, හේතූන් නිසා පහළවූද, ක්‍ෂයවන ස්වභාව ඇත්තාවූද, විනාශවන ස්වභාවය ඇත්තාවූද, නොඇලියයුතු ස්වභාවය ඇත්තාවූද, නිරුද්ධ කළයුතු ස්වභාවය ඇත්තාවූද, වේදනා තිදෙනෙකි. ඒ කවරහුද? සැප වේදනාව, දුක් වේදනාව, සැපද නොවූ දුක්ද නොවූ වේදනාව යන තුනයි. මහණෙනි, මොවුහු අනිත්‍යවූද, ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාවූද, නොඇලියයුතු ස්වභාවය ඇත්තාවූද, හේතූන් නිසා පහළවූද, ක්‍ෂයවන ස්වභාවය ඇත්තාවූද, විනාශවන ස්වභාව ඇත්තාවූද, නිරුද්ධ කළයුතු ස්වභාවය ඇත්තාවූද, වේදනාවෝ වෙත්.
1. 20. 10.
10. ඵස්‌සමූලක සූත්‍රය
258. “මහණෙනි, ස්පර්‍ශයෙන් හටගත්තාවූ, ස්පර්ශය මුල්කොට ඇත්තාවූ, ස්පර්ශය නිදානකොට ඇත්තාවූ, ස්පර්ශය ප්‍රත්‍යයකොට ඇත්තාවූ මේ වේදනාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත්? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය යන මොහුයි. “මහණෙනි, සැප වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා සැප වේදනාව උපදී. ඒ සැප වේදනාවට හේතුවන ස්පර්‍ශයාගේ නිරුද්ධ වීමෙන් ඊට අනුරූපවූ සැප වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා උපන් යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි, සන්සිඳෙයි.
“මහණෙනි, දුක් වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා දුක් වේදනාව උපදී. ඒ දුක් වේදනාවට හේතුවන ස්පර්‍ශයාගේ නිරුද්ධ වීමෙන් ඊට අනුරූපවූ දුක් වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා උපන් යම් දුක් වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි, සංසිඳෙයි. “මහණෙනි, උපේක්‍ෂා වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා උපේක්‍ෂා වේදනාව උපදී. ඒ උපේක්‍ෂා වේදනාවට හේතුවන ස්පර්‍ශයාගේ නිරුද්ධ වීමෙන් ඊට අනුරූපවූ උපේක්‍ෂා වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා උපන් යම් උපේක්‍ෂා වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි, සන්සිඳෙයි.
“මහණෙනි, යම්සේ ලී දෙකක් ගැටීම, එක්වීම හේතුකොටගෙන උණුසුම හටගනියිද, ගින්න පහළවෙයිද, ඒ ලී දඬු දෙක වෙන් කිරීම, ඈත් කිරීම නිසා එයින් උපන් උණුසුම නිරුද්ධවේද, සන්සිඳේද, මහණෙනි, එමෙන් ඒ ත්‍රිවිධ වේදනාවෝ ස්පර්‍ශයෙන් හටගත්තාහුය. ස්පර්‍ශය මුල්කොට ඇත්තාහ. ස්පර්‍ශය නිදානකොට ඇත්තාහ. ස්පර්‍ශය ප්‍රත්‍යයකොට ඇත්තාහ. ඊට සුදුසු සුදුසුවූ ස්පර්‍ශය නිසා ඊට සුදුසු සුදුසුවූ වේදනා උපදිත්. ඊට සුදුසු සුදුසුවූ ස්පර්‍ශයාගේ නිරුද්ධවීම හේතුකොටගෙන සුදුසු සුදුසුවූ වේදනා නිරුද්ධවෙත්ය, යි වදාළ සේක.
පළමුවෙනි සගාථ වර්‍ගය නිමි.
එහි උද්දානය:
සමාධි, සුඛ, පහාන, පාතාල, දට්ඨබ්බ, සල්ල, ගෙලඤ්ඤ, අනිච්ච සහ ඵස්සමූලක සූත්‍රය ද වේ.