1. 20. 10.
10. ඵස්සමූලක සූත්රය
258. “මහණෙනි, ස්පර්ශයෙන් හටගත්තාවූ, ස්පර්ශය මුල්කොට ඇත්තාවූ, ස්පර්ශය නිදානකොට ඇත්තාවූ, ස්පර්ශය ප්රත්යයකොට ඇත්තාවූ මේ වේදනාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත්? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය යන මොහුයි. “මහණෙනි, සැප වේදනාවට හේතුවන ස්පර්ශය නිසා සැප වේදනාව උපදී. ඒ සැප වේදනාවට හේතුවන ස්පර්ශයාගේ නිරුද්ධ වීමෙන් ඊට අනුරූපවූ සැප වේදනාවට හේතුවන ස්පර්ශය නිසා උපන් යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි, සන්සිඳෙයි.
“මහණෙනි, දුක් වේදනාවට හේතුවන ස්පර්ශය නිසා දුක් වේදනාව උපදී. ඒ දුක් වේදනාවට හේතුවන ස්පර්ශයාගේ නිරුද්ධ වීමෙන් ඊට අනුරූපවූ දුක් වේදනාවට හේතුවන ස්පර්ශය නිසා උපන් යම් දුක් වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි, සංසිඳෙයි. “මහණෙනි, උපේක්ෂා වේදනාවට හේතුවන ස්පර්ශය නිසා උපේක්ෂා වේදනාව උපදී. ඒ උපේක්ෂා වේදනාවට හේතුවන ස්පර්ශයාගේ නිරුද්ධ වීමෙන් ඊට අනුරූපවූ උපේක්ෂා වේදනාවට හේතුවන ස්පර්ශය නිසා උපන් යම් උපේක්ෂා වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි, සන්සිඳෙයි.
“මහණෙනි, යම්සේ ලී දෙකක් ගැටීම, එක්වීම හේතුකොටගෙන උණුසුම හටගනියිද, ගින්න පහළවෙයිද, ඒ ලී දඬු දෙක වෙන් කිරීම, ඈත් කිරීම නිසා එයින් උපන් උණුසුම නිරුද්ධවේද, සන්සිඳේද, මහණෙනි, එමෙන් ඒ ත්රිවිධ වේදනාවෝ ස්පර්ශයෙන් හටගත්තාහුය. ස්පර්ශය මුල්කොට ඇත්තාහ. ස්පර්ශය නිදානකොට ඇත්තාහ. ස්පර්ශය ප්රත්යයකොට ඇත්තාහ. ඊට සුදුසු සුදුසුවූ ස්පර්ශය නිසා ඊට සුදුසු සුදුසුවූ වේදනා උපදිත්. ඊට සුදුසු සුදුසුවූ ස්පර්ශයාගේ නිරුද්ධවීම හේතුකොටගෙන සුදුසු සුදුසුවූ වේදනා නිරුද්ධවෙත්ය, යි වදාළ සේක.
පළමුවෙනි සගාථ වර්ගය නිමි.
එහි උද්දානය:
සමාධි, සුඛ, පහාන, පාතාල, දට්ඨබ්බ, සල්ල, ගෙලඤ්ඤ, අනිච්ච සහ ඵස්සමූලක සූත්රය ද වේ.
2.රහොගත වර්ගය
2. 2. 1.
1. රහොගත සූත්රය
259. ඉක්බිති එක්තරා භික්ෂු නමක් භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, මෙහි රහසිගතවූ, හුදකලාවූ මට මෙසේ සිතට විතර්කයක් පහළවිය. භාග්යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය'යි වේදනා තුනක් වදාරන ලදහ. භාග්යවතුන් වහන්සේ විසින් මේ වේදනා තුන වදාරන ලදහ. භාග්යවතුන් වහන්සේ විසින් යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකයයිද වදාරන ලදී. යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකයයි මෙය කුමක් සඳහා භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේද?"යි, කියායි.
“යහපත, යහපත, මහණ. මහණ. මා විසින් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනායයි යන මේ වේදනා තුන මා විසින් වදාරන ලදහ. මහණ, මා විසින්, යම්කිසි විඳීමක් ඇද්ද ඒ සියල්ල දුකය යන මෙයද කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම අනිත්යය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම ක්ෂයවන ස්වභාවය සඳහා යම් කිසි විඳීමක් ඇද්ද ඒ සියල්ල දුකය, යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම විනාශවන ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම විරාග ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම නිරෝධ ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම විපරිණාම ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී.
“තවද මහණ, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරෝධයද කියන ලදී. ප්රථම ධ්යානයට සමවන්නහුට වචනය නිරුද්ධවූයේ වේ. ද්විතීයධ්යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ නිරුද්ධවෙත්. තෘතීයධ්යානයට සමවන්නහුට ප්රීතිය නිරුද්ධවූයේ වෙයි. චතුර්ත්ථධ්යානයට සමවන්නහුට ආශ්වාස ප්රශ්වාසයෝ නිරුද්ධවෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව නිරුද්ධවෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධවෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද නිරුද්ධවෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය නිරුද්ධවූයේ වෙයි. ද්වේෂය නිරුද්ධවූයේ වෙයි. මෝහය නිරුද්ධවූයේ වෙයි.,