1. 20. 8.
8. දුතිය ගෙලඤ්ඤ සූත්‍රය
256. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහ වනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගිට ගිලන්හල යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව යහපත් ප්‍රඥාවෙන් යුක්තව කාලය ගෙවන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි.
“මහණෙනි, මහණතෙම කෙසේ සිහි ඇත්තේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කයෙහි කය අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහියෙන් යුක්තව සත්ත්ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. වේදනාවන්හි වේදනාව අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව සත්ත්ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. සිතෙහි සිත අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, සත්ත්ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූ සිහියෙන් යුක්තව සත්ත්‍වලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි සිහි ඇත්තේ වේ.
“මහණෙනි, මහණතෙම කෙසේ වනාහි යහපත් ප්‍රඥා ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද, අවට බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත්පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟල සිවුරු, පාත්‍ර, සිවුරු දැරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, කඩා කෑමෙහිද, රස විඳගැනීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. වැසිකිළි, කැසිකිළි කර්මයෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථාවෙහිද, තුෂ්ණිම්භාවයෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි යහපත් නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, කාලය ගෙවන්නේය. මෙය තොපට අපගේ අනුශාසනාවයි.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ, අප්‍රමාදවූ, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත, නිවනට යොමුකළ සිත් ඇතිව වාසය කරන්නාවූ ඒ භික්ෂුවට සැප වේදනාවක් උපදීද, හෙතෙම මට සැප වේදනාවක් උපන්නීය. එය හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් නිසාද? මේ ස්පර්ශය නිසාය. මේ ස්පර්ශය අනිත්‍යය. කර්මාදී ප්‍රත්‍යයෙන් උපන්නේය. අනිත්‍යවූ, සංඛතවූ, හේතුවෙන් උපන්නාවූ ස්පර්ශය නිසා උපන්, සැප වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි දැනගනියි.
හෙතෙම ස්පර්ශයෙහිද, සැප වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වෙසෙයි. නොඇලීම අනුව බලමින් වෙසෙයි. නිරෝධය අනුව බලමින් වෙසෙයි. වෙන්වීම අනුව බලමින් වෙසෙයි. ස්පර්ශයෙහිද, සැප වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරෝධය අනුව බලමින් වාසය කරන්නාවූ, වෙන්වීම අනුව බලමින් වාසය කරන්නාවූ, ඔහුට ස්පර්ශයෙහිද සැප වේදනාවෙහිද යම් රාගානුසයක් වේද එය ප්‍රහීණ වේ.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තවූ, යහපත් නුවණින් යුක්තවූ, අප්‍රමාදවූ, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, නිවනට යොමුකළ සිත් ඇතිව වාසය කරන ඒ මහණහට දුක් වේදනාවක් උපදීද, හෙතෙම මට මේ දුක් වේදනාවක් උපන්නීය. ඒ වනාහි හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් නිසාද? මේ ස්පර්ශය නිසාය. මේ ස්පර්ශය වනාහි අනිත්‍යය, සංඛතය, ප්‍රත්‍යයෙන් උපන්නේය. අනිත්‍යවූ, සංඛතවූ, ප්‍රත්‍යයෙන් උපන්නාවූ, ස්පර්ශය නිසා උපන්, දුක් වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි දනී.
හෙතෙම ස්පර්ශයෙහිද, දුක් වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වෙසෙයි. විනාශය අනුව බලමින්, නොඇලීම අනුව බලමින්, නිරෝධය අනුව බලමින්, වෙන්වීම අනුව බලමින් වාසය කරයි. ස්පර්ශයෙහිද, දුක් වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරුද්ධවීම අනුව බලමින් වාසය කරන්නාවූ ඔහුට ස්පර්ශයෙහිද, දුක් වේදනාවෙහිද, යම් පටිඝානුසයක් වේද එය ප්‍රහීණ වෙයි.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවනට යොමුකළ සිත් ඇතිව වාසය කරන්නාවූ ඒ මහණහට, උපේක්ෂා වේදනාවක් උපදීද, හෙතෙම මට මේ උපේක්ෂා වේදනාවක් උපන්නීය. එය හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් නිසාද? මේ ස්පර්ශයන් නිසාය. මේ ස්පර්ශය අනිත්‍යය, සංඛතය, ප්‍රත්‍යයෙන් හට ගත්තේය. අනිත්‍යවූ, සංඛතවූ, ප්‍රත්‍යයෙන් උපන්නාවූ, ස්පර්ශය නිසා උපන්, උපේක්ෂා වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි දනියි.