1. 20. 7.
7. ගෙලඤ්‌ඤ සූත්‍රය
255. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහ වනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගිට ගිලන්හල යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව යහපත් ප්‍රඥාවෙන් යුක්තව කාලය ගෙවන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි.
“මහණෙනි, මහණතෙම කෙසේ සිහි ඇත්තේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කයෙහි කය අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහියෙන් යුක්තව සත්ත්‍ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. වේදනාවන්හි වේදනාව අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව සත්ත්‍ව ලෝකයෙහි ලෝභ,දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. සිතෙහි සිත අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, සත්ත්‍ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. ධර්‍මයන්හි ධර්‍මයන් අනුව බලමින් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූ සිහියෙන් යුක්තව සත්ත්‍වලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි සිහි ඇත්තේ වේ.
“මහණෙනි, මහණතෙම කෙසේ වනාහි යහපත් ප්‍රඥා ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද, අවට බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත්පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟල සිවුරු, පාත්‍ර, සිවුරු දැරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, කඩා කෑමෙහිද, රස විඳගැනීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. වැසිකිළි, කැසිකිළි කර්‍මයෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථාවෙහිද, තුෂ්ණිම්භාවයෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි යහපත් නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, කාලය ගෙවන්නේය. මෙය තොපට අපගේ අනුශාසනාවයි.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යැවූ සිත් ඇතිව වාසය කරන ඒ මහණහට, සැප වේදනාවක් උපදීද, හෙතෙම මට මේ සැප වේදනාවක් උපන්නීය. එය වනාහි හේතුවක් ඇතිවය. හේතුවක් නැතිව නොවේ. කිනම් හේතුවක් නිසාද? මේ ශරීරය හේතුකොටගෙන ඇතිවිය. මේ කය වනාහි අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්ව කරන ලද්දේය. හේතුවෙන් උපන්නේය. අනිත්‍යවූ, ප්‍රත්‍යයන් එක්ව කරන ලද්දාවූ, හේතූන් නිසා උපන්, කය නිසා හටගත් සැප වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි සිතයි.
හෙතෙම ශරීරයෙහිද, සැප වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වාසය කරයි. නොඇලීම අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි. අත්හැරීම අනුව බලමින් වාසය කරයි. ශරීරයෙහිද සැප වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරෝධය අනුව බලමින් වාසය කරන්නාවූ, අත්හැරීම අනුව බලමින් වාසය කරන්නාවූ, ඔහුට කයෙහිද, සැප වේදනාවෙහිද, යම් රාගානුසයක් වේද එය ප්‍රහීණ වෙයි.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, නිවන කරා යැවූ සිත් ඇතිව, වාසය කරන්නාවූ ඔහුට දුක් වේදනාවක් උපදීද, හෙතෙම මට මේ දුක් වේදනාවක් උපන්නීය. ඕ වනාහි හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කිනම් හේතුවක් නිසාද? මේ ශරීරය නිසාම ඇතිවිය. මේ ශරීරය වනාහි අනිත්‍යය. ප්‍රත්‍යයන්ගෙන් කරන ලද්දේය. හේතුවක් නිසා උපන්නේය. අනිත්‍යවූ, සංඛතවූ, හේතුවක් නිසා හටගත් කය නිසා උපන්, දුක් වේදනාවක් වේද, එය කෙසේ නිත්‍ය වන්නේදැයි මෙසේ දනී.