1. 20. 4.
පාතාල සූත්‍රය
252. “මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම මහා සමුද්‍රයෙහි පාතාලයක් (පතුලක් නැති තැනක්) ඇතැයි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම ඒ නැති අවිද්‍යාමාන වූවක් ගැන මහා සමුද්‍රයෙහි පාතාලයක් ඇතැයි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, යම් මේ පාතාල යන වචනයක් වේද, එය ශාරීරික දුක්ඛ වේදනාවන්ට නමකි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම ශාරීරික දුක්ඛ වේදනාවෙන් ස්පර්‍ශවන ලද්දේ ශෝක කරයි. ක්ලාන්ත වෙයි. විලාප කියයි. පපුවට ගසමින් අඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම පාතාලයෙන් නොනැගිට්ටේය. පිහිටීමකට නොපැමිණියේය. “මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශාරීරික දුක්ඛ වේදනාවෙන් ස්පර්‍ශවූයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. පපුවට ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පාතාලයෙන් නැගිට්ටේය. පිහිටීමකට පැමිණියේය.
යමෙක් තෙම යමකින් ස්පර්‍ශ කරන ලද්දේ වෙවුලාද, ශාරීරිකවූ, ප්‍රාණය පැහැරගන්නාවූ උපන් මේ දුක්ඛ වේදනාවන් නොඉවසයිද,
වීර්‍ය්‍ය මඳවූ දුර්‍වලවූ හෙතෙම හඬයි, විලාප කියයි, හෙතෙම පාතාලයෙන් නොනැගිට්ටේය. තවද පතුලටද නොපැමිණියේය.
යමෙක් තෙම යමකින් ස්පර්‍ශ කරන ලද්දේ නොවෙවුලාද, ශාරීරිකවූ ප්‍රාණය පැහැරගන්නාවූ උපන් දුක්ඛ වේදනාවන් ඉවසාද, හෙතෙම ඒකාන්තයෙන් පාතාලයෙන් නැගිට්ටේය. පතුලටද පැමිණියේය.,
1. 20. 5.
දට්‌ඨබ්‌බ සූත්‍රය
253. “මහණෙනි, මේ වේදනා තුනකි. කවර තුනක්ද යත්, සැප වේදනාවය, දුක් වේදනාවය, දුකද නොවූ සැපද නොවූ වේදනාවය යන තුනයි. මහණෙනි, සැප වේදනාව දුක් වශයෙන් දත යුතුය. දුක් වේදනාව හුලක් වශයෙන් දත යුතුය. උපේක්‍ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දතයුතුය.
මහණෙනි, යම් තැනක පටන් භික්‍ෂුව විසින් සැප වේදනාව දුක් වශයෙන් දක්නා ලද්දේවේද, දුක් වේදනාව හුලක් වශයෙන් දක්නා ලද්දේවේද, උපේක්‍ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දක්නා ලද්දේවේද, මහණෙනි, මේ මහණතෙම යහපත්සේ දුටුයේ තෘෂ්ණාව සින්දේය. සංයෝජනය බහා දැම්මේය. මනාකොට මානයාගේ ප්‍රහාණයෙන් දුක් කෙළවර කෙළේය.,
යමෙක් සැප දුක වශයෙන් දුටුයේද, දුක හුලක් වශයෙන් දුටුයේද, ශාන්තවූ උපේක්‍ෂාව අනිත්‍ය වශයෙන් දුටුයේද,
ඒකාන්තයෙන් ඒ යහපත් සේ දක්නා භික්‍ෂුතෙම වේදනාවන් පිරිසිඳ දනී. හෙතෙම වේදනා පිරිසිඳ දැන මේ ආත්මයෙහි ආශ්‍රව රහිත වූයේ ධර්‍මයෙහි පිහිටියේ නුවණින් කෙළවරට ගියේ ශරීරයාගේ බිඳීමෙන් සත්ත්‍වයා යන සංඛ්‍යාවට නොපැමිණෙයි.
1. 20. 6.
සල්ල සූත්‍රය
254. “මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම සැප වේදනාවද විඳී. දුක් වේදනාවද විඳී. උපේක්‍ෂා වේදනාවද විඳී. මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සැප වේදනාවද විඳී. දුක් වේදනාවද විඳී. උපේක්‍ෂා වේදනාවද විඳී. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ ඒ වේදනා විඳීමෙහි විශේෂය කවරේද, අදහස කවරේද, වෙනස්කම කවරේද?
“ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් හොඳය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා මේ කීමේ අදහස දරන්නාහුය. “මහණෙනි, එසේ වී නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි, යි වදාළ සේක. “එසේය ස්වාමීනි, කියා ඒ භික්‍ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ (එවිට) මෙය දේශනා කළසේක.